lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Wednesday, August 31, 2016

    අනියම් සම්බන්ධයක සැකයෙන් සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය ( Video)

    අතීතයේ පස්යොදුන් රට නමින් හැඳින්වූ ශ‍්‍රී ලංකාවේ බටහිර වෙරළට මායිම් වන කළුතර, යටත් විජිත සමයේ බොහෝ ප‍්‍රභූ ජනයාගේ ගෞරවාදරයට පාත‍්‍ර වුණු ප‍්‍රදේශයකි. කළු ගංඟාවෙන් පෝෂණය වුණු සශ‍්‍රීක තැනිතලාවකි. එකල පොහොසතුන් නුවරඑළිය හැරුණු විට සැප පහසුව සොයා ගියේ කළුතරටයි. කළුතර නගරයෙන් සැතපුමක් පමණ දුර පලාතොට මාර්ගයේ ගමන් කරන්නකුට මොසැක් කලාවට අනුව සැකසුණු දැවැන්ත නාම පුවරුවක රිච්මන්ඞ් කාසල් යනුවෙන් නිර්මාණය කොට තිබෙනු දැක ගත හැකිය. අඩි 100ක් පමණ දිග මෙම පුවරුව මීට සිය වසකට පමණ පෙර තිබුණු ප්‍රෞඪ මතකයක් සොයා යාමේ ආරම්භක සලකුණයි. මෙතැන් සිට ආරම්භ වන විශාල තොරණක් සහිත පොල් වත්ත මැදින්, මීටර 500ක් පමණ දුරක දී හමුවන කළු ගඟට මායිම්ව පිහිටි තරමක් උස් කඳු ගැටයක ඉදි වුණ මහා මන්දිරයක් වෙයි. එකල අක්කර 40ක පමණ වර්ග ප‍්‍රමාණයක පැතිරුණු මෙම භූමිය මල් උයනක්ව තිබූ බව ඒ ගැන තතු දත්තෝ කියති. මල් උයන අද නැතත් අතීත කථාවක මතක සුවඳ සඟවාගෙන ඒ මහා මන්දිරය නිසොල්මනේ අප ඉදිරියේ බලා සිටියි. ඒ රිච්මන්ඞ් මැදුරයි. සියලූ සැප සම්පත් හැර දමා ආදරයේ වේදනාවෙන් වෙන්ව ගිය මහා ධන කුවේරයකුගේ කතාන්දරය මෙම මාලිගය තුළ සැඟවී තිබේ.
    රිච්මන්ඞ් කාසල් ඉදි වූයේ මීට සිය වසකට පමණ පෙරය. ඒ 1910 දීය. රිච්මන්ඞ් කාසල් එකල කළුතර දිසාව භාරව සිටි මහමුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිර්මාණයකි. යටත් විජිත ආක‍්‍රමණ හමුවේ මුහුදුබඩ ප‍්‍රදේශයේ වැසි ජනයා දකුණට හා මැද කඳුකරයට පලා ගිය අතර එවැනි දකුණට පලා ගිය සිංහල වංශක්කාරයකුගෙන් පැවත එන නායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා  කොල්ලූපිටියේ නිවසක් තනා එහි පදිංචියට එන්නේ 19 වැනි සිය වස අග භාගයේදීය. ඔහුට දාව හෙක්ටර් ද සිල්වා හා ආතර් ද සිල්වා යනුවෙන් පුතුන් දෙදෙනකු වූ අතර ඔවුන් යුරෝපයට යවා යටත් විජිතවාදීන්ගේ ඉංග‍්‍රීසි දැනුම හා සංස්කෘතිය ඉගැන්වීමට කටයුතු සැලසීය.
    වසර ගණනක් පුරා යුරෝපයේ අධ්‍යාපනය ලබා ඒ සමයේ දී හඳුනාගත් මිතුරන් මාර්ගයෙන් රට රටවල සංචාරය කරන්නට ද අපේ කතා නායකයා වන ආතර් ද සිල්වාට අවස්ථාව ලැබුණි. එසේ ගිය එක් ගමනක දී ඉන්දියාවේ මහරාජාවරයකුගේ මහා මන්දිරයක් දැක එවැනි මන්දිරයක් ඉදි කිරීමේ නොතිත් ආශාවක් ආතර් ද සිල්වා තරුණයාට ඇති විය. මේ පිළිබඳ අදහස මහාරාජාවරයාට පැවසූ කළ ඔහු අවඥාසහගත ලෙස තරුණයා දෙස බැලූවේ එවැනි මන්දිරයක් ඉදි කිරීමට විශාල ධනස්කන්ධයක් වැය වන නිසා ය. එම නිවසේ සැලැස්ම තමාට ලබා දෙන ලෙස ඉල්ලූවත් මහාරාජාවරයා ඊට අකැමැති වූයේ එවැනි මන්දිරයක් තැනීම හීනයක් බව පවසමිනි.
    උඩුමහලට යන පඩිපෙළ
    නමුත් උත්සාහය අත් නොහැරිය ආතර් ද සිල්වා තරුණයා ලංකාවෙන් පෙදරේරු කාර්මිකයකු ගෙන්වා මන්දිරය පෙන්වා තමාටත් එවැනි මන්දිරයක් ඉදි කරගත යුතු බව මේසන් කාර්මිකයාට දන්වා සිටියේය. පෙදරේරු කාර්මිකයා නියමාකාරයෙන් නිවස පරීක්‍ෂා කොට වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පමය කරුණු මැනවින් අධ්‍යයනය කොට ලංකාවට ආවේ ආතර් ද සිල්වා තරුණයාගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි තරම් ඒ පිළිබඳ අවබෝධයක් ලබමිනි.
    මේ වන විට ආතර් ද සිල්වා සාමාන්‍ය පුද්ගලයකු නොවේ. ඉංග‍්‍රීසි දැනුම, සංස්කෘතිය වැළඳගත් සම්පූර්ණ කළු සුද්දකු විය. ඉතා වංශවත් පවුලක දේපළ හිමි මේ තරුණයා කළුතර මහමුදලි තනතුරු ලබන්නේ මෙකලය. ප‍්‍රාදේශීය මුදලිවරු නම දෙනකුට මහමුදලි වූ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මහ මුදලිතුමාගේ මීළඟ අභිප‍්‍රාය වන්නේ ඉන්දියාවේ තමා දුටු මාලිගය ලංකාවේ නිර්මාණය කිරීමයි. කළුතර පලාතොට කළු ගං මිටියාවතේ තරමක් උස් කඳු මුදුනක සුන්දර වටපිටාවක මන්දිරය තනන්නට අත්තිවාරම දැමුවේය.
     මහමුදලි විවාහවූදා
    ප‍්‍රාසාදය ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා උපකරණ විවිධ රටවලින් ආනයනය කළේය. ගඩොල් හා උළු ඉන්දියාවෙන් ද, දැව බුරුමයෙන් ද, ජනෙල් වීදුරු ඉතාලියෙන් ද, නාන කාමර හා ගෙබිම මැටි පුවරු
    එංගලන්තයෙන් ද ගෙන්වා ගත්තේය. මේවා කොළඹ වරායේ සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට කළු ගංඟාව දිගේ බත්තල් මඟින් මන්දිරය ඉදි වන භූමියටත් ගෙන එන ලදී. මන්දිරයට අවශ්‍ය ශ‍්‍රමය හා අනෙකුත් දේශීය අමුද්‍රව්‍ය සපයා ගත්තේ මේ තරුණ ජව සම්පන්න මහමුදලිවරයාගේ අන්තේවාසික ප‍්‍රාදේශීය මහමුදලිවරුන්ගේ සහයෝගයෙනි. කළුවර, බුරුත වැනි වටිනා දැව වර්ග, සිය ගණනක් වූ ශ‍්‍රම බළකාය එවැනි උදව් උපකාර අතර විය. නිවසට අවශ්‍ය තේක්ක වැනි දැව වර්ග බුරුමයේ සිට නැවක්ම ගෙන ආ බව කියැවේ. ඉතා කෙටි කාලයකින් ඉදි කළ මේ මන්දිරය මහාරාජාගේ මන්දිරයටත් වඩා විශාල ප‍්‍රතාපවත් මැදුරක් විය. අලංකෘත මල් උයනක් ද නිම වීමෙන් මේ මන්දිරය දිව්‍ය විමනක්ම විය. මහාරාජාවරයාට ඔහුගේ මන්දිරය තනන්නට ගිය කාලයෙන් හරි අඩක කාලයක් ගත වෙද්දී රිච්මන්ඞ් මැදුරේ වැඩ අවසන් කර තිබුණි.
    කළුතර දිසාවට මහමුදලිකමත් ඊට ගැලපෙන ආශ්චර්යමත් මැදුරත් ඉදිවී තිබුණ ද මුදලිවරයාගේ ජීවිතයේ තවත් එක් අඩුපාඩුවක් විය. ඒ ඉදි කළ මැදුර එළිය කරන්නට භාර්යාවක සොයා ගැනීමයි. සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මැටිල්ඩා මෝඞ් සූරියබණ්ඩාර විවාහ කරගැනීමට තීරණය කරගන්නේ මේ අනුවය. රිච්මන්ඞ් මැදුරට ගෙවදීමත්, විවාහයත් එකටම සිදුවූ බව කියැවේ. පේ‍්‍රමයත් මැදුරත් අතර සිදුවූ ඒ අපූර්ව බැඳීම සිදු වන්නේ වර්ෂ 1910 දී ය. තොරණ 7ක් බැඳ මඟුල් කනවා යැයි ව්‍යවහාරයේ එන කීම සත්‍ය ලෙසම සිදු වුණු මඟුලක් ලෙස මහමුදලි හා සූරියබණ්ඩාර ළමාතැනීගේ විවාහය සලකන්නට පුළුවන.
    රිච්මන්ඞ් වෙත එන මඟදිගට අතිවිශාල තොරණ බැඳ තිබුණු බව රිච්මන්ඞ් මැදුරේ තිබෙන සමරු ඡායාරූප හා චිත‍්‍රවලින් සනාථ කර ගත හැකිය. තොරණ 7ක් බැඳ මඟුල් කා ක්ලැරිස් මැටිල්ඩා ළමාතැනී කරකාර බැඳගෙන රිච්මන්ඞ් වෙත ගිය ගමන එකල මුළු ලංකාවේ හතර දිග්භාගයේම වූ ආශ්චර්යමත් මංගල්‍යයක් විය. වර්තමානයේ නම් බි‍්‍රතාන්‍ය රජ පවුලක සිදු වන විවාහයක් තරමටම මෙම විවාහය උත්සවශ‍්‍රීයෙන් සිදු වුණු බව කිව යුතුය. මෙම මඟුල සඳහා පැමිණි ප‍්‍රභූන් වෙනුවෙන් කොළඹ කළුතර අතර දුම්රියක් යොදවා තිබූ බව
     මැදුරේ ඉදිරිපස මිදුල
    කියැවේ. යුරෝපීය ජාතිකයන් මෙන්ම ලංකාවේ රදළවංශක්කාරයෝ විශාල පිරිසක් මෙම මංගල්‍යයට සහභාගි වූහ. මඟ දෙපස විශාල ජනකායක් පොදි කමින් මංගල පෙරහර නරඹන අයුරු ජායාරූපවල  වෙයි.
    අශ්ව කරත්ත, යුරෝපීය මෝටර් රථ මෙම මඟුල් පෙරහරේ දක්නට හැකි විය. මහමුදලිතුමා හට සුදු අශ්වයින් හතර දෙනකු සහිත අශ්ව කරත්තයක් යුරෝපීය ආණ්ඩුව සපයා දී තිබුණි. එම අශ්වයින්ට සෙමෙර සලන සේවකයන් සහිත පරිවාර අශ්වයන් දෙදෙනකු ද සුදු අශ්වයන් සහිත අශ්ව කරත්තයට දෙපසින් ගමන් කළේය. එකල එවැනි වංශවත් මහමුදලිවරයකු සිටියේ නම් ඒ හොරගොල්ලේ සොලමන් ඩයස් බණ්ඩාරනායක පමණක් බව තතු දත් අය පවසති. යුරෝපීය ඇඳුම් ආයිත්තම්, නර්තන හා සැරසිලි ආදිය කළුතර ජනයා මඟුල් පෙරහරේ දුටු විශ්මය දනවන දසුන් විය.
    දැසි දස්සන් පිරිවරා ගෙන ජයටම මඟුල් කා රිච්මන්ඞ් මැදුරට ගොඩ වදින විජේසිංහ යුවළගේ මඟුලට

    ආරාධනා ලැබ සිටි විශේෂිත පුද්ගලයකු වූයේය. ඒ එදා මෙවැනි මන්දිරයක් ගොඩ නැගිය නොහැකි යැයි වහසිබස් දෙඩූ ඉන්දියානු මහරාජාවරයාය.  මේ මංගල පි‍්‍රයසාදයේ දී මන්දිරය දැක මෙතරම් කෙටි කලක් තුළ සුවිශාල මැදුරක් හා අලංකාර උයනක් නිම වීම තමා ආහ්ලාදයට පත් වුණු කරුණක් බව මහරාජාවරයා පවසා ඇත.
    යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන මෙම මන්දිරය මහල් දෙකකින් යුක්ත වූවකි. ඉදිරිපස පෝටිකෝව ලංකාවේ වෙනත් කිසිදු ප‍්‍රභූ නිවසක දැක ගත නොහැකි විශේෂතා පෙන්නුම් කරයි. දැවැන්ත රවුම් කුළුණු 12ක් දරා සිටින මෙම පොටිකෝවේ ඉදිරිය අර්ධකවාකාරය. පෝටිකෝවේ පියස්ස උඩුමහලින් ඉදිරියට නෙරා එන සදළුතලයක් නිර්මාණය කරයි. පෝටිකෝවෙන් ඇතුළුව නිවස අභ්‍යන්තරයට යන්නට මත්තෙන් නිවස වටාම තිබෙන පුළුල් කොරිඩෝව වෙයි. කොරිඩෝවේ පිටත මායිම කවාකාර ආරුක්කු සහිත රවුම් කුළුණුවලින් සමන්විතය.
    නිවස ඉදිරිපස පෙනුම පිටත සිට බලන්නකුට ග‍්‍රීක රෝම ගෘහ නිර්මාණ ලක්‍ෂණ දෘශ්‍යමාන කරයි. නිවසේ ඉදිරිපස දෙකොණ උස්ව ඉහළට විහිදෙන එක්ටැම් ගෙවල් දෙකක් සිහිගන්වන ආකාරයේ නිර්මාණයකි. ඉහළ මාලයේ පිටත සදළුතලයයි. එය මැදින් ඉදිරියට නෙරා විත් තිබෙන්නේ අර්ධ කවාකාර හැඩයකටය. ඉහළ මාලයේ මුදුන යුරෝපීය කැටයම් ලක්‍ෂණ දරමින් අහස සිප ගනී. පිටත සිට බලන්නකුට මන්දිරයේ වහල දර්ශනය වන්නේ නිවසේ පසුපසට ගියොත් පමණි. ප‍්‍රාසාදය පැති පෙනුමේ මුදුන් කුසලාන හැඩැති නිර්මාණ පෙළක් සහ සරළ රේඛීය කැටයම්වලින් යුක්තය. පැති පෙනුම හා පසු පෙනුම ඉදිරිපස පෙනුමෙන් වෙනස් වන අතර එහි අඩුවක් නොමැතිව ගරු ගාම්භීර ප‍්‍රාසාදයක අංග ලක්‍ෂණ ප‍්‍රකට කරයි.
    නිවස අභ්‍යන්තරය තුළ විශේෂයෙන් හඳුනාගත හැකි ගෘහ නිර්මාණමය කොටස් ගණනාවකි. පෝටිකෝවෙන් ඇතුළුව හමු වන කොරිඩෝව මැදින් නිවස මධ්‍යයට වත්ම ප‍්‍රධාන දොර කවුළු තුනකින් යුත් නිවසේ ආලින්දය වෙයි. ලංකාවේ බොහෝ නිවාසවල දැකිය හැකි ඉහළ මාලයට නැගිය හැකි දැවමය විශාල පියගැටපෙළක් ඒ ආලින්දයේ වෙයි. දෙපස කාමර ද මෙම අංගනයට විවෘත වන අතර එංගලන්තයෙන් ගෙන එන මැටි පුවරු අතුරා බිම සකස් කර තිබේ. නිවස පිටුපසට ගමන් කළ හැකි දොර කවුළු දෙකක් ද සහිත මෙහි දොර කවුළුවල ඉහළ විවිධ ලී කැටයම් හා මල් මෝස්තර දැකගත හැකිය. එම කැටයම් සහිත කොටසට පිටින් වර්ණ වීදුරු ඔබ්බවා පිටත ආලෝකය ඇතුළට ඒමට සලස්වා තිබේ. ඉතාලියෙන් ගෙන්වූ වීදුරු මේ සඳහා භාවිත කොට තිබේ. මෙවැනි දොර කවුළු 99ක් නිවස තුළ වෙයි. ඒවා එකම හැඩයකින් යුක්ත වීම හා දෙපසට විවර වන ආකාරයෙන් සකසා තිබීම විශේෂත්වයකි.
    මෙම ආලින්දයට දකුණු පසින් මුදලිතුමාගේ කාර්යාල කාමරය වූ අතර මුදලිතුමා එකතු කළ අත්කම් ලියකම් ඇතුළු විවිධ රටවල සිහිවටන, අද ද කෞතුක වස්තූ ලෙස මෙහි තැන්පත් කොට තිබේ. ප‍්‍රභූන් බැහැදැකීම ද සිදුව ඇත්තේ ද මෙම කාමරය තුළදීය. ආලින්දයෙන් පසු බිම් මහල තුළ ඊට පසු හමුවන්නේ මැද මිදුලයි. මැද මිදුලට පැමිණි අයකුට ඉහළ බලන කල නිවස වඩා ප‍්‍රතාපවත්ව යටිකෝණී රූපයකින් දිස් වනු ඇත. මැද මිදුල වටේටම කොරිඩෝවක් නිර්මාණය කර තිබේ. කොරිඩෝවට ඔබ්බෙන් පහත මාලයේ අනෙකුත් කාමර වෙයි. මැද මිදුල විවිධ මල් වර්ග හා කුඩා පොකුණකින් අලංකාර කර තිබේ.
    මැද මිදුල අවසන නිවසේ පිටුපසට වන්නට හමුවන මීළඟ වැදගත්ම කොටස වන්නේ නිවසට පැමිණි අමුත්තන්ට සංග‍්‍රහ කිරීමට හා නෘත්‍ය ශාලාවක් ලෙස යොදා ගත් උස් කුළුණු සහිත දිගු ශාලාවයි. මෙහි ගෘහ නිර්මාණමය වැදගත්කම් රාශියකි. මේ දිගු ශාලාවේ එක් කෙළවරක කුඩා බැල්කනියක් වේ. ඒ ශාලාවේ නෘත්‍ය වැඩ සටහන් ඉදිරිපත් කරන විට ප‍්‍රභූන්ට නැරඹීම සඳහාය. මෙම බැල්කනියට පිවිසීමට ශාලාවට පිටින් චීනච්චට්ටි ලෝහයෙන් නිම කළ වක‍්‍රකාර හැඩයෙන් යුතු සෝපානයකි. ශාලාව තුළ ඉතා උස් දැවමය කුළුණු 12කි. සෙංකඩගලපුර මාලිගා පරිශ‍්‍රයේ තිබෙන මඟුල් මඩුව සිහිගන්වන මේ ශාලාවේ කුළුණු සැකැස්ම නුවර යුගයට අයත් විහාර ආරාමවල දක්නට ඇති සියුම් ලී කැටයම්වලින් යුක්තය. නෙළුම් මල්, පංචනාරී ගැටය, ගජසිංහ රූප, පළා පෙති, ළිය වැල් ආදිය මෙහි කැටයම් කොට තිබේ. මෙම ශාලාවේ වහල සැකැස්ම ද අපූර්ව නිර්මාණයකි. යට ලී පරාළ නොමැති මෙම වහල ආරුක්කු හැඩැති බාල්ක පෙළක් මත රඳවා තිබේ. වහලේ බර දරන විට හිරවී ශක්තිමත් වන ආකාරයේ කැපුම් මූට්ටුවක් සහිතව මෙම බාල්ක සකසා තිබුණි. මෙම ලී ආරුක්කුවල කැටයම් යුරෝපීය ලක්‍ෂණ දරයි.
    ශාලාව තවත් අතකින් වැදගත් වන්නේ එහි වායුසමනය සඳහා යොදා ගෙන ඇති උපක‍්‍රමය නිසයි. කළු ගෙඟ් සිට මැටි නළ මඟින් පොළොව යටින් සීතල වායු ධාරා නිවසේ පාදම වෙත පැමිණේ. එම සිසිල් වාතය ශාලාව තුළ බිමට අතුරා ඇති ලෑලි අතර වූ කුහර මඟින් ශාලාවට ලබා ගනී. මේ නිසා ස්වාභාවික සිසිල් වාතාශ‍්‍රය මෙම ශාලාව පුරා තිබුණු බව අද ද දක්නට ඇති එම ලී කුහර හා මැටි නළ සාක්‍ෂි දරයි. මෙම ශාලාවෙන් පසුව මන්දිරයේ පිටුපස කොරිඩෝව දිස්වන අතර එය අඩි 100ක් පමණ දිගට පුළුල්ව විහිදේ.
    නිවසේ ඉහළ මාලය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පිවිසුම් මාර්ග දෙකක් තිබෙන බව පෙනී යයි. සේවකයන්ට ගමන් කිරීම සඳහා දකුණු පස කොරිඩෝවෙන් ආරම්භ වන පියගැටපෙළකි. නිවැසියන් පරිහරණය කළේ ආලින්දයේ වූ ප‍්‍රධාන පියගැටපෙළයි. එම පියගැටපෙළ බුරුත තේක්ක වැනි වටිනා දැවයෙන් කළ නිර්මාණයක් වන අතර එහි ඇති ප‍්‍රතාපවත් පෙනුම මන්දිරයේ විසූ වංශක්කාර මහමුදලිගේ ගරුගාම්භීරත්වය තීව‍්‍ර කරයි. මෙවැනි පියගැටපෙළක දැකිය හැකි පොදු ලක්‍ෂණය වන පුළුල් මධ්‍යගත පඩි පෙළක් සේ ආරම්භ වී පසුව දෙපසට විහිද යන පියගැටපෙළ දෙකක් ලෙස ප‍්‍රතිවිරුද්ධ දිශාවට ඉහළට විහිද යාම මෙම පියගැටපෙළේ ද දැකිය හැකිය. සියුම් බොරදම් කැටයම්, මල් මෝස්තර, නෙළුම් මල්වලින් යුක්ත පියගැටපෙළ ඉහළ මාලයේ දී ගරාදි වැට සහිත සඳැල්ලක් නිර්මාණය කරයි. සත්ව අං මත පිරවූ මිදි පොකුරු, කුසලාන හැඩ සඳැල්ලේ කැටයම් කර තිබේ.
    පියගැටපෙළ අවසානයේ එළඹෙන විවෘත භූමිය කෙළවර වන්නේ නිවස ඉදිරිපස වූ සදළුතලයෙනි. දෙපස මුදලිතුමාගේ හා සූරියබණ්ඩාර ළමාතැනී පාවිච්චි කළ පෞද්ගලික කාමර, නිදන කාමර ආදිය වෙයි. මෙම විවෘත කොටස තුළ වන විශාල ජනෙල් කවුළු මිදි පොකුරු හා මිදි වැල් කැටයම් කළ වීදුරුවලින් යුක්තය. රෝම පල්ලි සිහිගන්වන මෙම ජනෙල් කවුළු පහළ මාලයේ ජනෙල් කවුළුවලට වඩා විශාල වන අතර ජනෙල් වීදුරු පිටත ආලෝකය වර්ණ ගැන්වෙන ලෙස සැකසුණු ඒවාය. මේවා ද ආනයනය කර ඇත්තේ ඉතාලියෙනි. ඉහළ මාලයේ බිත්ති විශේෂිත ක‍්‍රමයකට ඉදි කොට ඇත. ගල්, ගඩොල් භාවිත නොකර තේක්ක දැව කදන් සිටුවා මැද කුහරයක් නිර්මාණය වන ලෙස දැව කණු මැදි කොට දෙපසින් තේක්ක රීප්ප ගසා ඒ මත හුණු මිශි‍්‍රත සිමෙන්ති බදාමයක් ගැසීමෙන් බිත්ති නිර්මාණය කොට ඇත. මෙමඟින් සිසිල් බවක් කාමර තුළට ලබා ගෙන ඇති අතර පිටත ශබ්ද නොඇසෙන තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.
    නිවස පිටුපස එළිමහන් භූමිය විශාල මිදුලක් නිර්මාණය කරන අතර ඊට දකුණු පසින් සේවක කාමර, කුස්සිය, රථ ගාල් ආදිය වෙයි. මෙතැනින් මෙම බිම බෑවුම් වන්නේ කළු ගෙඟ් වම් ඉවුරටයි.
    මෙවන් වූ මන්දිරය දශක තුනක පමණ කාලයක් කළුතර වැසි ජනයාගේ  ඕනෑ එපාකම් සොයා බලන, නායකත්වය සපයන, දේපළ ආදායම් ලබා දෙන, ඉඩම් ප‍්‍රශ්න පවුල් ආරවුල්වලට විසදුම් සපයන ජනයා ගැවසුනු, ප‍්‍රභූන්, දැසිදස්සන් පිරුණු භූමියක්ව තිබුණි. දශක තුනකට පමණ පසු මේ මහා මන්දිරය හා සුවිශාල දේපළ කෙරෙහි ඇල්ම බැල්ම හෙළු ඉරිසියාකාර දේපළවලට ලොබ බැන්දවුන්ගේ කේලම් හා කුමන්ත‍්‍රණ නිසා මන්දිරයේ පාදම දෙදරා යන්නට විය. සැමදා සාමාන්‍ය ජනයාට විවරව තිබූ මේ මහා මන්දිරයේ ඉදිරිපස දොර කවුළු වසා තිබුණු බවට කිසිදු සාක්‍ෂියක් නැත. එවන් පොදු ජනයාටම කැප වුණු මහාමුදලිවරයකුට වුව පූරුවේ කළ කරුමයකට මුහුණ දෙන්නට වන්නේ සනාතන ධර්මයට අනුවය.
    තොරණ 7ක් බැඳ මඟුල් කා කරකාර බැඳගත් ආදරණීය බිරිඳ මැදුරේ සේවය කළ කෙනකු සමඟ සම්බන්ධයක් තිබෙන බව මුදලිවරයාට දැන ගන්නට ලැබෙන්නේ මේ කතාවට අවසානයක් එකතු කරමිනි. මේ වන විට මුදලිවරයාට වයස අවුරුදු 51කි. සූරියබණ්ඩාර ළමාතැනීට වයස අවුරුදු 50කි. ඒ නිසා මෙය විශ්වාස කළ නොහැක්කක් වුවත් මේ පවුලට දරුවන් නොමැති වීම කතාව අනියමින් පෝෂණය කරයි. මල් උයනක් සහිත මන්දිරයක සැපවත්ව වාසය කළ මුදලිවරයා උයන සරසන ආකාරය මේ කතාවට කිසිදු සම්බන්ධයක් නොමැති වුවත්, අද එහි ගොස් සදළුතලයට වී ඉදිරිපස බිම දෙස නෙත් යොමන්නකුට එහි සම්බන්ධයක් ඇත්දැයි සැක උපදී.
    උයනේ තිබෙන පිරිමි දරුවන්ගේ හා කාන්තාවන්ගේ පිළිම දෙස බලා සිටීමේ දී මතු වන ශෝකජනක හැඟීම් හා පාළුව දරුවන් නොමැතිව නිවස තුළ වාසය කළ මුදලිතුමාගේ චිත්තඅභ්‍යන්තරය සිහිගන්වයි. නැති නම් සූරියබණ්ඩාර ළමා තැනීගේ චිත්ත පීඩාව සිහිගන්වයි.  විදේශ රටකින් ගෙන්වා මෙහි තැන්පත් කළා යැයි සිතිය හැකි  පිළිම ග‍්‍රීක පිළිම කලාවේ ආභාෂය ලබා ඇති අතර සියලූ කාන්තා ප‍්‍රතිමා මැදුරට පිටුපා සිටින ලෙසත් කුඩා පිරිමි දරුවන්ගේ ප‍්‍රතිමා නිවසට අභිමුඛ කොට ස්ථානගත කර තිබෙන්නේ කතාවට අලූත් රසයක් එක් කරමිනි. අක්කර 40ක විහිදුනු මනරම් මේ උයන එදා විවිධ වර්ගයේ දේශීය විදේශීය මල් වර්ග තුරු ළතාවලින් අලංකෘතව තිබූ බව කිව යුතුය.
    කෙසේ වුව ද මැදුර හා උයන අප ඉදිරියේ කුමන කතා මැවුවත් මුදලිතුමා සම්පත් හැර දමා යන්නට තීරණය කර තිබුණි. බිරිඳගේ අනියම් සම්බන්ධය විශ්වාස කර හෝ නොකර මැදුරටත් තම බිරිඳටත් සමු දී සියලූ සැප සම්පත් හැර දමා මුදලි ධුරය ද අත හැර නුවර කුවින්ස් හෝටලයේ 75 වැනි කාමරය කුලියට ගෙන එහි හුදකලාව වසන්නට තීරණය කළේය. බිරිඳ ඇයගේ මහ ගෙදරට යවා මසකට එකල වටිනාකමින් රු. 300ක් හා පොල් ගෙඩි 250ක් ඇය ජීවත්ව සිටින තුරා යවන ලෙසත්, ඉතිරි දේපල පිරිමි ළමයින් රැක බලා ගැනීම සඳහා යොදවන ලෙසත් අන්තිම කැමති පත‍්‍රය ලියා තැබුවේය.
    අද ඒ කැමැත්ත එලෙසම ඉටුවෙමින් රිච්මන්ඞ් කාසල් පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් සඳහා රැක බලා ගැනීමේ මධ්‍යස්ථානය රිච්මන්ඞ් කාසල් තුළ වෙයි. අද ද මුදලිගේ දේපළ ආදායම එම ළමයින්ට ඉගැන්වීම් කටයුතු සඳහා යොදා ගැනේ. අද රිච්මන්ඞ් මැදුරේ අයිතිය මහාභාරකාර තුමා සතුය. 1947 ජූලි මස 08 වැනි දින මිය ගිය දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ අන්තිම කැමැත්ත එසේ ඉටු වෙද්දී මහා ධනස්කන්ධයක් දානය කොට සියලූ ආශා අත් හළ වංශවතකුගේ කතාන්දරය සඟවාගෙන තවමත් රිච්මන්ඞ් කාසල් විරාජමානව වැජඹෙයි.

    විශේෂ ස්තූතිය - මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාට

    රිච්මන්ඞ් කාසල්හි සහකාර ස්ථාන භාර නිලධාරි විමලසිරි හෙට්ටිආරච්චි මහතාට
    සටහන, ඡායාරූප: මංගල කීර්ති ද පැස්කුවල්





















     

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture