lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Monday, September 12, 2016

    අසම්මත ප්‍රේමයේ ගින්නෙන් දැවී ගිය ඇහැලේපොල වලව්ව

    ශ්‍රී ලංකා රාජාවලියේ සමාරම්භය සනිටුහන් වන්නේ 'විජයගේ' ආගමනයෙනි. මහා වංශය එසේ ශ්‍රී ලංකා රාජාවලිය ආරම්භ කළ ද එයට ද වසර සිය ගණනකට එපිට ගියා වූ රාවනා යුගයේ පවා දියුණු ජනතාවක්‌ මෙහි සිටිය බව පෙනේ. කෙසේ වතුදු මහාවංශය ආරම්භ වන්නේ ෙ€දවාචකයක්‌ ද සමඟය. මීට පෙර කවදාවත් දැක නැති, අසා නොතිබුණ, තරාතිරම නොදත්, ආගන්තුකයකුට තම ප්‍රේමය පමණක්‌ නොව රාජ්‍යයද බන්දේසියක තබා පූජාකළ ඒ අවාසනාවන්තිය මවක ලෙස ජීවිතයෙන් සමුගත්තේ ආදරයත්, රටත්, පූජාකළ විපාකයටය. එසේ කාන්තාවක ලෙස කුවේණිය (කුවණ්‌නා) ගේ ෙ€දවාචකයෙන් ඇරඹි සිංහල රාජවංශය අවසන් වන්නේ ද තවත් කුල කතකගේ ශෝකාන්ත සමුදීමකිනි. ආරම්භයත් අවසානයත් අතර රටට, ජාතියට ආගමට ආදරය කළ තම ජීවිතය පරදුවට තබා කටයුතු කළ, බොහෝ කාන්තාවෝ අප ඉතිහාසයේ සිටියහ. රට වෙනුවෙන් මුහුදට බිලි වූ විහාරමහා දේවිය මහා පුණ්‍යවන්තියක වූවාය. ඇගේ ගැබ පිංවත් කුමරකු හට උපත දීමට සිටි නිසා දෝ සතරවරම් දෙවිවරු ඇයව ආරක්‌ෂා කළහ. සොළී ආක්‍රමණයෙන් රට, ජාතිය බේරා ගැනීමට අශ්ව කරත්තයෙන් බැස තම සැමියාට ඉඩ ප්‍රස්‌ථාව ලබා දුන් සෝමා දේවිය කිසි දින අපට අමතක කළ නොහේ. ඇහැලේපොල හෙවත් ඇහැලේපොල මොනරවිල කුමාරිහාමි නම් වූ ඇය සිංහල රාජාවලියට දුක, කඳුළ, ශෝකය එක්‌ කළාය. ඇය ජාතියේ කුල කාන්තාවකි. පති භක්‌තිය රැකි දයාබර බිරිඳකි. දරුවන් කෙරේ අසීමිත ප්‍රේමයෙන් යුතු මාතාවකි. සිංහල ජාතියට තම අභීත බව පෙන් වූ දේවියකි. ඇය ජාතියේ කඳුළ බවට පත් වූවේ කුරිරු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දැඩි පළිගැනීමේ ක්‍රියාවලිය හමුවේය.

    උතුරු මාතලේ උඳුගොඩ උඩසියපත්තුවේ ඇහැලේපොල ගම්මානයේ උපත ලද ඇහැලේපොල නිලමෙතුමා ක්‍රි. ව. 1803 දී සත්කෝරළයේ දිසාපති පදවියටද, 1806 දී දෙවන අධිකාරම් පදවියටද පත්විය. ඇහැලේපොල නිලමේගේ අප්පච්චි වූවේ ඌවේ මහ දිසාපති වූ විජයසුන්දර ඇහැලේපොල නිලමේතුමාය.

    සුන්දර වූ තාරුණ්‍යයේ එඩිතර පුරුෂයකු වූ විසිතුන් හැවිරිදි ඇහැලේපොල නිලමෙතුමාගේ දයාබර බිරිඳ වූවේ කැප්පිටිපොල දිසාවගේ සහ මොනරවිල කුමාරිහාමිගේ දයාබර දියණිය මොනරවිල චූටි කුමාරිහාමිය. (ඇහැලේපොල නිලමේ 1829 අප්‍රේල් මිය යන විට 56 හැවිරිදි විය - සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය - ගයිගර්) විවාහයෙන් පසු ඇය ඇහැලේපොල කුමාරිහාමි නම් වූවාය. (උඩරට මහ කැරැල්ල - තෙන්නකෝන් විමලානන්ද)

    තම දෙමාපියන්ගේ ඉල්ලීම මත හා ඇහැලේපොල නිලමේ සමඟ පෙර තිබූ දැන හැඳුනුම්කම මත සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ඇය සරණ බැඳුණේ ඉතා අඩු වයසෙනි. රූපශ්‍රීයෙන් නොඅඩු නිහතමානි ගතිගුණවලින් යුතු කුලකාන්තාවක වූ ඇයට ලොකු බණ්‌ඩාර, මද්දුම බණ්‌ඩාර, ඩිංගිරි මැණිකේට පසුව ලැබූණ දරු සිඟිත්තිය වූයේ ටිකිරි මැණිකේය. තම දයාබර දෙමාපියන් සමඟ මේ කුඩා දරුවන්ට ලැබුණ නිවහන වූ වත්මනේ රජවීදිය වූ (එකල ස්‌වර්ණ කල්‍යාණ වීදියේ) ඉහළ කොටසේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරය ඇහැලේපොල වලව්ව විය. වත්මන් නගර ශාලාව වූ දුනුවිල වලව්ව ඉදිරිපිටින් ආරම්භ වූ දේව වීදිය ඇහැලේපොල - පිළිමතලාව වලව් අතරින් දේවා සංහිදට එකතුවිණ. අද ශාන්ත පාවුලූ දේවස්‌ථානය එදා නොතිබූ අතර දුනුවිල වලව්ව, පිලිමතලාව වලව්ව, ඇහැලේපොල වලව්ව, රජමැඳුර, නාථ දේවාල භූමිය, මාලිගා චතුරස්‍රය දර්ශනීය උද්‍යානයක්‌ මැදිකර පිහිටා තිබුණි. ක්‍රමවත් මාර්ග සහ උයන්වතු නිසා
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගය
    පෙදෙසම අලංකාර විය. ඇහැලේපොල කුමාරිහාමිගේ වැඩිමහල් සහෝදරයා ඌවේ මහ දිසාපති වූ කැප්පිටිපොල නිලමේය. නිලමේ තනතුරක්‌ දැරූ බාල සොහොයුරාද තම සොහොයුරිය හා දරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීය. රජමැඳුරට- ඇහැලේපොල වලව්වද මුහුණට මුහුණ ලා පිහිටියහ. ඇහැලේපොල වලව්වට රජමැඳුර, ශ්‍රී දළදා මාලිගාව, පත්තිරිප්පුව, නාථ දේවාලය, බෝමැඩ, පත්තිනි දේවාලය, උතුරට මහ විෂ්ණු දේවාලයද දිස්‌විය. රජමැඳුරටද එසේමය. මේ නිසාම ඉතා ලාබාල මවක වුවද උදේ හවා ශ්‍රී දළදා මාලිගාව දෙස අපරිමිත ශ්‍රද්ධාවෙන් යුක්‌තව බලා සිටින්නට පුරුදු වූවාය. ඇගේ පළමු දරුවා ලැබෙන විට ඇය විසිවයස්‌ අතර සිට ඇත. ඊට වසර 03 කට පසුව දෙවැනියා වූ මද්දුම බණ්‌ඩාර ද ඔහුට වසර 2 කට පසු හිංමැණිකේ ද ලැබූ අතර කුමාරිහාමිට වයස 32 ලැබුව කාලය තුළ ඇය සිව්වන දරුවා වූ චූටිමැණිකේ ලැබුවා පමණි. අලුත ලද චූටිමැණිකේ මව් ඇකයේ සුරතල් වූවේ සැමම සොම්නස්‌ කරවමිනි. මෙම සිව් දරු මාතාව තම ආවතේව සඳහා ඥාතිවරියන් දෙදෙනකුද සමඟ වලව්වේ වාසය කළේ මහා සතුටකිනි. ඔවුන් විසූ වලව්ව ඔවුනට රඟහලක්‌ම විය. ඉතා කෙලිලොල් ලොකු බංඩාර, තම සොයුරු මද්දුම බංඩාරද සමඟ දුවපැන සෙල්ලම් කළ මෙම වලව්ව, ශ්‍රී විජය රාජසිංහ රජ දවස (ක්‍රි. ව. 1739-1747) ලන්දේසීන්ගේ උඩරට ආක්‍රමණයෙන් පසු රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්, විජය රාජ රජ දවස ලන්දේසි ආක්‍රමණයෙන් විනාශ වූ ගොඩනැගිලි වෙනුවෙන් ඉදී වූ ගොඩනැගිල්ලක්‌ ලෙස සැලකේ. ඒ කෙසේ වුවද උඩරට සම්ප්‍රදායට අනුව යමින් වර්ෂාධික දේශගුණයට ඔරොත්තු දෙන සේ කළ මෙම වලව්වද අනික්‌ වලව් මෙන් අංගසම්පූර්ණ
    ඇහැලේපොල වළව්වේ සිට බැලූවිට රාජසිංහ රජුගේ රජමැ`දුර දිස්‌වනුයේ මෙසේය
    ගොඩනැගිල්ලක්‌ විය. මහා ඝන පදනමක්‌ මත වඩා උස්‌ව පිහිටන සේ ගොඩනගා ඇති ගොඩනැගිල්ලට හුඹස්‌ මැටි සියුම් වැලි ආදිය යොදා පුළුස්‌සන ලද දේශීය ගඩොල් භාවිතා කර ඇති අතර කපරාරුව සඳහා සියුම් මැටි, කොහුබත් සහ කෘමි උවදුරින් වැළකීම සඳහා ගම්මිරිස්‌ මිශ්‍රණයකින් සෑදූ දේශීය බදාමයක්‌ යොදා තිබේ. මහනුවර යුගයේ සම්ප්‍රදාය එලෙසම ආරක්‌ෂා කළද ලන්දේසි යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයද උපයෝගී කර ඇති බව පෙනේ. ඉහළ දාර සහි උස්‌ කුලුනු සහ ආරුක්‌කු බිත්ති ලන්දේසි ගෘහ නිර්මාණ ලක්‍ෂණ වේ. මෙයද මෙම ගොඩනැගිල්ලට යොදා ඇත. ටැම්පිට ඉදිකිරීම් ක්‍රමයට අනුව යමින් වඩා උස්‌ව ඉදිකළ වලව්වට යාම සඳහා එකල ගල්පඩි යොදා තිබී ඇත. (මහනුවර දූතගමනක්‌ - ජෝන් පීබස්‌) වලව්වේ දැව භාවිතයද ඉතා ඉහළ අගයක්‌ දරන අතර ගෙබිම, දොර, ජනේල සහ ඉහළ මාලයට වටිනා දැව භාවිතා කර ඇත. දෙමහල් ගොඩනැගිල්ලක්‌ වන මෙහි වඩා ඔපවත් කරන ලද දැව තරප්පු පෙළට කැටයම් කළ පසාරු අත්වැල යොදා ඇත. උඩරට වහලයේ අංග ලක්‍ෂණ වන සිව්පලයේ, අටපලයේ, කෝණාකාර වහල සහ සිංහල උළු සෙවිල්ලීම තුළින් වහලට වැටෙන ජලය ඉතා ඉක්‌මනින් බැස යාමට ඉඩ සලසසි. එකල සමහර විට මෙම වහලයට පෙති උළුද යොදා තිබෙන්නට ඇත. මහනුවර යුගයේ
    ගොඩනැගිලිවල ලන්දේසි ක්‍රමයේ ආරුක්‌කු බිත්ති, වලව්වට
    ඇහැලේපොල නිලමේ



    ගාම්භීරත්වයක්‌ එක්‌ කරයි. එදා ලොකු බණ්‌ඩාර සහ මද්දුම බණ්‌ඩාර තම නැඟනිය හා ඉහළ පහළ යමින් කෙලිදෙලෙන් කාලය ගත කළ ඉහළ මාලයට යන තරප්පුව අද එම දඟකාරකම් අපට කියා දෙන්නක්‌ වැනිය. එහි අත් ඇඳි තුළ, කුලුනුq තුළ කුඩා දරුවෝ ඔංචිලි පදින විට ඉහළ පහළ යන විට අනන්ත වාරයක්‌ තම දරුවනට 'දඟ වැඩකර තුවාල කර ගන්ට එපා' යෑයි ඇහැලේපොල මැණීයෝ හඬ අවදිකරන්නට ඇත. ඝන උළුවස්‌සෙන් සහ ඉහළින් ආරුක්‌කු සහිත කාමර පිවිසුමද ඒ තුළින් දිග බරාඳයක්‌ සහිත මුළුතැන් ගෙය තුළ එදා ඇහැලේපොල කුමරිය අතින් සිංහල ආහාර ක්‍රම අනුව, සිංහල සූපවේදයට යමින් රසමසවුළු කෙතරම් ඉදෙන්නට, හැදෙන්නට ඇද්ද? එයට යාබද 'කෑමගේ' කොතරම් අමුත්තනට රස කැවිල්ලෙන් ආහාර පානයෙන් සංග්‍රහ කෙරෙන්නට ඇද්ද? වෙනත් වලව්වල මෙන් මෙම වලව්වේදී සයනාගාර, විවේක ස්‌ථාන, අමුත්තන්ගේ ලැගුම් ගෙවල්, නඩු අසන සහ වරදට පමුණුවන ස්‌ථාන, මැද මිදුල්, වැසිකිළි කැසිකිළි, ආදියෙන් අංගසම්පූර්ණව තිබී ඇත. මේවා සියල්ල කුමාරිහාමි තම අභිමතය පරිදි අදිකාරම්තුමාගේ සිත්ගන්නා අයුරින් පිළිවෙළකට කර ඇත්තේ පෙර තුල කතුන් ගිය මඟ යමිනි.


    ක්‍රි. ව. 1798 දී රාජාධිරාජසිංහ තම ජීවිතයෙන් සමුගත්තේ 'මුත්තුසාමි' නම් වූ තම ඥාති සොහොයුරාට රජකම පවරන ලෙස ඉල්ලීමක්‌ කරමිනි. එයට හේතු වූවේ රාජාධි රාජසිංහ රජුට දරුවන් නොමැති වූ බැවින් ඊළඟට සුදුසුකම් ලබනුයේ බිසවගේ සොහොයුරකු වන බැවිනි. ඉන්දියාවේ වඩුග රාජ නීතිය වූවේ 'මුරුමුක්‌කයම් නීතියයි'. ලංකාවේ වඩිග රජවරුද එයම අනුගමනය කළහ. ඒ අනුව රාජාධිරාජසිංහගේ ඉල්ලීමට අනුව 'මුත්තුසාමිට' රජකම හිමිවිය යුතුව ඇත. එහෙත් සිදුවූවේ වෙනකකි. පිළිමතලව්වේ මහාධිකාරමගේ
    ඇහැලේපොල වලව්වේ ඉහළ මාලයට යන තරප්පු පෙළ
    කුමන්ත්‍රණයකට අනුව දහ අටහැවිරිදි 'කන්නසාමි' නම් තරුණයා රජවනුයේ 'ශ්‍රී වික්‍රම රාජසිංහ' නමිනි. නැතිවී ගිය සිංහල රාජවංශය තමාට ලබා ගැනීමේ බල ලෝභයෙන් 'පිළිමතලව්වේ' කුමන්ත්‍රණය දියත් කළේ එබැවිනි. තවද 'කන්නසාමි යනු පිළිමතලව්වේගේ අනියම් සබඳතාවයක ප්‍රතිඵලයකැයි කියති. (උඩරට මහ කැරැල්ලෙ වි. තෙන්නකෝන්) කන්නසාමි 'ප්‍රතිරූපයක්‌' කර රජකම තමා අත තබා ගැනීම පිළිමතලව්වේගේ අභිලාෂය විය. ඒ අනුව නොසිතූ අයුරින් ත්‍රි සිංහලයේ රාජාවලියේ අවසාන රජු ලෙස ශ්‍රි වික්‍රම රාජසිංහ 1815 පෙබරවාරි 18 දා ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් විය.

    ක්‍රි. ව. 1815 වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහජන අප්‍රසාදයට පත් වුවද රාජ්‍ය ආරම්භයේ ඔහු ඉතා යහපත් පුද්ගලයෙකු වූ බව පෙනේ. සිංහල අවසන් රාජ්‍ය කාලයේ ශ්‍රී දළදාව පිළිබඳ ලේඛනයක්‌ ද 1802 දී ලියෑවී ඇති අතර එය 'දළදා විත්තිය' නම් වේ. පත්තිරිප්පුව නිර්මාණය, නුවර වැව (කිරි මුහුද) මෙතුමා සෞන්දර්යය අගය කළ පුද්ගලයකු බව පෙනේ. ආගමට දහමට ලැදිව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ දූෂිත පාපිෂ්ට පුද්ගලයෙකු වූවේ බල තණ්‌හාව නිසා එකිනෙකා කොටවමින් පිස්‌සන් සේ ක්‍රියා කළ අපගේම රදළවරුන්ගේ ක්‍රියා කලාපයත්, තමන්ට පාලනය කරගත නොහැකි කම කාමුක ආශාවත් බව පෙනේ. මේ නිසා සිත් පිත් නැති නරුමයකු බවට පත් ශ්‍රී වික්‍රම රාජසිංහට පමණක්‌ නොව ඔහු සමඟ සිටි සියලු දෙනාටම සිදුවූවේ නොසිතූ විරූ මරණයකි.

    සොඳුරු තාරුණ්‍යයේ දහඅට වියෑති ශ්‍රී වික්‍රම රජු හට රජ බිසවක්‌ සිටිය ද වසර කීපයක්‌ ගත වුවද ඔහුට ඔහුගේ බලාපොරොත්තු ඉටු නොවුණා විය හැක. ඒ නිසාම වසර කීපයකින් පසුව තවත් බිසෝවරු ගෙන ආ අතර එසේ ගෙන ආ උත්සවයකට අදිකාරම්වරු නිළමේවරුද ආදී අමුත්තන් රාශියකට ආරාධනා ලැබුණි. ඒ අවස්‌ථාවට අනුව ඇහැලේපොල අදිකාරම් 'සුළු ත්‍යාගයක්‌' රජුට පිරිනැමුවේ පසුව වටිනා ත්‍යාගයක්‌ දෙන
    ඇහැලේපොල වලව්ව  
    බලාපොරොත්තුවෙනි. මේ 'සුළු තෑග්ග රජුගේ සිත් නොගත්තක්‌ විය. එය රජු සිතේ තැම්පත් විය. මේ අතර රජ කෙනකු වුවද අන්තඃපුරයක්‌ තිබුණද 'හිතගිය තැන මාලිගාව' තැනීම තාරුණ්‍යයේ සිරිතයි. රජු තම මාලිගයේ සිට අවට සිසාරා බලන්නේ එක්‌ දිනක්‌ මාලිගාව ඉදිරිපස උයනේ සැරිසරන මනා රූ සපුවකින් යුතු කාන්තා රුවක්‌ දිටීය. ඇය දරුවන් සිව් දෙනකුගේ මවක වූ 'ඇහැලේපොල කුමාරි හාමිය' රජ මැඳුරේ කවුළුවෙන් දුටු ඇගේ රුව තමාගේ ආශාවන් මතුකරන්නක්‌ම විය. ඒ නිසාම නිතර නිතර රජ මැඳුරු කවුළුවෙන් ඇය පිළිබඳ සිහින මැව් රජු තමාගේ සංසිඳිය නොහැකි ආශාව, සංසිඳිය හැකි මධු බඳුනක්‌ ලෙස ඇය දිටීය. 'මහා ගුරුලකු ඉහළ අහසේ සිට බිම තිබෙන කුඩා සත්වයෙකු ඩැහැගැනීමට මානබලන්නා සේ' රජ මැඳුරු කවුළුවෙන් ඇයට මාන බැලීය. එහෙත් එයට එක්‌ බාධකයකි. ඇගේ ස්‌වාමිපුරුෂයා තරුණ අදිකාරම්වරයකු වූ ඇහැලේපොල නිලමේය. ඇහැලේපොල කුමාරිහාමිද මේ වන විට 30 වියෑති රූ සපුවෙන් අඩු නොවූ කුල කාන්තාවකි. රජ මාලිගාවත් ඇහැලේපොල වලව්වත් අතරමඟ වූ උයනේ ඇගේ ගමන් පිළිබඳවත් මනා වැටහීමක්‌ මේ තරුණ රජුට තිබුණි. කල් යල් බලා තනිවම තමා හමුවට එන ලෙස රජුගෙන් හසුන්පතක්‌ ඇයට ලැබිණ. එයද රහසිගත විය. එසේ කිරීමට පෙර රජු ඇහැලේපොල නිලමේට උසස්‌ වීමක්‌ සමඟ සබරගමුවට යෑව්වේ අත්‍යවශ්‍ය රාජකාරි පෙන්වමිනි. ඇහැලේපොල කුමාරි වලව්වේ හුදකලා කොට ඇගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට රජු මාන බැලීය. එහෙත් තමා පෝෂණය කළ කුල ගෞරවයෙන් හෙබි කුමාරිහාමි වඩුග රජුගේ ඉල්ලීම එක හෙලා ප්‍රතික්‌ෂේප කළාය. අවසානයේ රජුගේ කාම ඉල්ලීමට ෙද්‍රdaහි වී කෲර රජුගේ වධ බන්ධනයට ලක්‌ වූ විට ඇය හඬමින්

    පිටියේ නිරිඳු මා දකිමින් උයනෙ සිට

    හැරියේ පණිවිඩය යනමෙන් වාසලට

    සරියේ නැති බැවින් ගෙදරින් යාම පිට

    බැරියේ කී නිසා මේ දුක උනේ මට

    (ඇහැලේපොල හටන)

    යෑයි කියමින් එය හෙළිකළාය.

    මේ කිසිවක්‌ නොදත් ඇහැලේපොල සිය රාජකාරිය සඳහා සබරගමුවට යන්නේ එහිදී රජුට තෑගි දීම පිණිස රන්
    ඇහැලේපොල වලව්වේ මැද මිදුල
    කඩුවක්‌, ඔටුන්නක්‌ සහ රිදී ඇඳක්‌ ද තැනවීමේ නියුක්‌ත විය. තම බිරිඳ මහා ඇබැද්දියකට කොටුව ඇති බව ඔහු නොදත්තේය. මේ අතර කනින් කොනින් හෝ මොලගොඩ නිලමේ මෙය දැනගන්නට ඇත. මොල්ලිගොඩද පිළිමතලාවේ මෙන් බල තණ්‌හාවෙන් යුතුව තනතුරු කෙරේ ආශාවෙන් යුතු පුද්ගලයෙකු විය. 'කල දුටු කල වළ ඉහගන්' කීවා සේ මොල්ලිගොඩ, ඇහැලේපොල හා රජු බිඳවා ඇහැලේපොලගේ තනතුර සහ ඉහළම ස්‌ථානයක්‌ තමාට ලබාගැනීම පිණිස රජු හමුවට පැමිණියේ කේළමක්‌ද සමඟනි. ඇහැලේපොල අදිකාරම් රජකම තමාට ලබා ගැනීම පිණිස කඩුවක්‌ හා ඔටුන්නක්‌ සාධවන බව කීවේ සියලු තතු තමා දන්නා බව හඟවමිනි. එම කේළම ජාතියක අවාසනාවන්ත අවසානයක ආරම්භය බව ඔහුට නොදැනෙන්නට ඇත්තේ 'බල තණ්‌හාව' නිසා විය හැක.

    ඇහැලේපොල කුමාරිහාමිගෙන් තම ආශාවන් සපුරා ගත නොහැකි වීමත්, මොල්ලිගොඩගේ කේළමත් ඒ අතර පිළිමතලව්වේගේ රාජ්‍ය ලබා ගැනීමේ කුමන්ත්‍රණයත් රාජසිංහයන් උන්මත්තකයෙකු කරන්නට සමත් විය. මොල්ලිගොඩගේ කේළමෙන් කෝපාවිෂ්ට වූ රජු 'වහාම මාලිගාවට එන ලෙස්‌ රජ වාසල පණිවිඩකරු වූ කන්දේපොල අත හසුනක්‌ ඇහැලේපොළට යෑවිණ.
     මුළුතැන්ගෙය පෙදෙස

    රජවාසල හෝ කුමාරිහාමි පිළිබඳ කිසිවක්‌ නොදත් ඇහැලේපොල 'කඩුව සහ ඔටුන්න රැගෙන ඔබ වහන්සේ හමුවට ඉක්‌මනින් එන්නෙමි' යෑයි පිළිතුරු හසුන්පත කන්දේපොළ අත එවීය. එන අතර මඟ කඩවතදී කන්දේපොළගෙන් ලබා ගත් මොල්ලිගොඩ එම ලිපිය සඟවා රජුට අපහාස කොට වෙනත් හසුන්පතක්‌ ලියා ඇහැලේපොල එවන ලෙස ඇහැලේපොල ලෙසම අත්සන යොදා කන්දේපොල මඟින් රජුට ලැබීමට සැලස්‌විය. මෙම ලිපිය බලා කෝපාවිෂ්ට වූ රජු නැවත ලිපියක්‌ ඇහැලේපොලට යවනුයේ 'ඔබ කොතරම් කෝපාවිෂ්ට වුවත් ඔබගේ අඹුදරුවන් හා වස්‌තුව මා සතුය.


    එබැවින් වහාම මහනුවර එනු' යන්න සඳහන් කරමිනි. එම ලිපිය කියවූ නිලමතුමා ඇති තතු නොසඟවා ලියා වරදක්‌ වී නම් සමාව ඉල්ලා හසුනක්‌ කන්දේ පොල අත රජුට එවීය. මෙයද අල්ලස්‌ දී කන්දේපොලගෙන් ලබා ගත් මොල්ලිගොඩ පෙර පරිදිම 'මගේ දරුවන් ඔබේ බලයට යටත් නම් මරා කෑවාට කමක්‌ නැත' යනුවෙන් නැවත ලියා කන්දේපොල අතටදී 'මහනුවර දෙමළගේ හැටි කොහොමදැයි' නිලමේ තමාගෙන් ඇසූ බවද කියන්නැයි කන්දේපොලට උගන්වා රජු වෙත යෑවීය.

    අවුරුදු 33 ක්‌ වූ කාමයෙන් රාගයෙන් උමතු වුද රාජ්‍යයේ දැඩි කුමන්ත්‍රණ හා උගුල්වල දැඩි පීඩනයට පත් වූ රජු මේ වන විටද දැඩි මත්පැනට යොමුව තිබිණ. මේ වන විට පෘතුගීසින්ගේ උඩරට ආක්‍රමණයෙන් පසු උඩරටට ද මත්පැන් ප්‍රචලිත වූ අතර, රජු හමුවට ආ පෘතුගීසි, ලන්දේසි පමණක්‌ නොව ඉංගී්‍රසිහු පවා කොළඹ සිට ත්‍යාග වශයෙන් මත්පැන් ගෙන ඒමට පුරුදුව සිටියහ. (ත්‍රි සිංහලය - පෝල් ඊ පීරිස්‌ පිටුව 6) 1815 සිට 1833 දක්‌වා රට පාලනය කළ ඉංග්‍රීසි කොමසාරිස්‌වරුද මේ බව සනාථ කර ඇත. (සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය (කාර්ටන්) මේ
     වලව්වේ ඇතුළත
    නිසා බොහෝ කොට මත්පැන්වල පිහිට පැතූ රජු ක්‍රෝධයෙන් වෛරයෙන් පුපුරන්නට විය. රජුගේ ආශාවන් වූ පත්තිරිප්පුව පිළිමතලව්ව ඇතුළු නිලමේවරුගේ විරෝධය මැද බලය යොදා නිමකළ රජු මහනුවර වැව බැඳීම සඳහා සබරගමුවේ බිසෝගමක මිනිසුන් වැඩට එවන ලෙස ඉල්ලූ විට එය ප්‍රතික්‌ෂේප කළ ඇහැලේපොල කීවේ 'වැව් කෘෂිකාර්මාන්තයට මිස අලංකාරයට නොවේ, බිසෝගම මිනිසුන් ඒ සඳහා එවිය නොහැක.' යන්නය. මේ අතර මල්වතු ස්‌වාමින් වහන්සේලා ස්‌නානය කරන ළිඳ අයින් කරන්නට රජුට අවශ්‍ය විය. එයට මල්වතු හිමිවරු විරෝධය පෑහ. මේ කටයුතුවලට ඇහැලේපොලට පිළිමතලව්වේද සහය විය. රාජ සභාවේ උන් උසින් හා මහතින් දැවැන්ත ඇමති වූ රත්වත්තේ දිසාව රජු සමඟ හාරිස්‌පත්තුවට පෙරහැරින් යන විට ඇතා උඩ සිට කඩුවකින් ගසක වූ පුවක්‌ ගෙඩියක්‌ කැඩීමේ වරදට බෝගම්බරදී හිස ගසා මරනු ලැබීය. තමාට රජකම ලබාදීමට උදව්කළ පිළිමතලව්වේ ගේ හිස ගසා දැමීමට 1812 දී අණකළ රජු ක්‍රි. ව. 1812 දී මල්වතු විහාරවාසී පරණාතල අනුනානයක හිමියන්ගේද හිස ගසා මරා දමනු ලැබීය. මෙසේ බොහෝ පිරිස්‌ උන්මන්තක ලෙස මරා දැමූ 'රාජසිංහ' රජු තම අභිමතාර්ථයන් සපුරාගත නොහුණු තැන එයට පලිගැනීමේ ෙච්තනාවෙන් කේලාම් නිසා වෛරය බැඳ ඇහැලේපොල අධිකාරම්ගෙන් පලිගැනීම සඳහා තෝරා ගත්තේ කෲරවූද ම්ලේච්ඡ වූද මහපොලොව පවා නූසුලන ක්‍රියා මාර්ගයකි. ඇහැලේපොල කුමාරිහාමි, දරුවන් සිව් දෙනා, ඥාතීන් දේවසංහිඳට ගෙන පිරිමි දරුවන්ගේ හිස මව බලා සිටියදීම කඩුවෙන් කොටා මරා දැමීමටත් කිරිදරුවන් හිස ගසා මරා වංගෙඩියක ලා මව ලවා කොටවන්නත් නියෝග කළහ. මෙහිදී ජාතියේ අභීත බව විදහා පාමින් වඩුග රජුට යටත් නොවන බව පවසා මරණයට බිය නැති බව පෙන්වූ මද්දුම බංඩාර කුමරු කළ වීර ක්‍රියාව දේශවාත්සල්‍ය ඔපවත් කරන්නකි. දරුවන් දමා කෙටවූ වංගෙඩිය අසල වගුරු බිමකට විසි කරන ලදී. වත්මනෙහි එම වගුරු බිම ගොඩකර ශාන්ත පාවුලු දේවස්‌ථානය පිහිටා ඇත. (කොරිංටන්) ඇහැලේපොල කුමාරිහාමිට මෙවැන්නක්‌ උරුම වූවේ තම කුල ගෞරවයත් අභිමානයත් පෙන්වමින් තම ජාතියට පවා නොහොබිනා දෙමළ රජුට කළ අපහාස නිසාවෙනි. මැරූ දරුවන් වං ගෙඩියක ලා කොටවන්නට තරම් ඔහු සාහසික විය. එසේ නොකළ හොත් ගහලයනට පාවා දෙන බවට රජු ගුගුලේය.

    මෙම සාහසික ක්‍රියාව 1814 මැයි 16 දින හෝ 17 දින සිදු වූ බව සඳහන් වේ. (කොරිංටන් ලංකා ඉතිහාසය පිටු 140-141) එදා ඇය තමා ඉදිරිපිට පෙනෙන දළදා වහන්සේ දෙස බලා උන්වහන්සේටද තම වේදනාව ලෙයි අත්ගසා පළ කළාය. තම පතිවෘතාව වෙනුවෙන් සත්‍ය ක්‍රියා කළ පත්තිනියට පත්තිනි දේවාලය දෙස බලා අත් හිසෙහි ගසා කියා වැළපුණේ.

    මහ ගබඩාවේ සතර දෙනෙක්‌ ඉද කිරිපෙව් මැණිකෙයි ඉල්ලන්නේ

    දෙතන දෙකේ කිරිපොවලා හරියට පව් අරවාලයි අර ගන්නේ

    කුසයේ දන ගිනි ඇවිලෙනවා ඇයි දෙවි අවනඩු නොබලන්නේ

    නෙතින් වෑහෙන කඳුළැල් වැගිරෙනවා සත්පත්තිනි දෙවියන්නේ



    එසේ පත්තිනියට දුක කිව් ඇය තමාට තම පවුලට දුන් මේ දුක්‌ ගින්න නිසා දෙමළ රජුට හෙන නොම දෙන්නේ ඇයි දැයි මහා දුක්‌ගින්නෙන් යුතුව ඇසීය.

    මහ නිලමේ මට කල් බැඳලා සිට වැදූ ඒ දරුවන් නොලැබෙච්චී

    දෙවනුව වැදු මගේ ඩිංගිරි මැණිකෙට කිරිටික බොන්නට බැරිවෙච්චි

    අකාල, කරුමෙට වදාපු දරුවන් වනේ ලා කොටන්නට සිදුවෙච්චී

    දෙමල රජුට හෙනයක්‌ දෙන්නට සත්පත්තිනි දෙවි නැතිවෙච්චී



    ඇය එසේ වැළපුනද කෲර රජුගේ මදයෙන් මත්වුණ හදවත උණු නොවීය. එදා ඇහැලේපොල වලව්වේ කෙළිදෙලෙන් ගත කළ මෙම කිරිසප්පයින් තම මව බලා සිටිය දීම මරා දැමීම මේ මව කෙසේ උසුලන්නට ඇද්ද? කුඩා දියණිය වනේ ලා කොටවන්ට රජු දීන විය. තම පිරිවර කාන්තාවන් සමඟ ඇහැලේපොල කුමාරි බෝගම්බර වැවේ ගිල්වා මැරූ රජු ඇහැලේපොලට පක්‍ෂපාත 54 දෙනකුද කෲර වධ හිංසනයට පත් කර දමද්දී ඒවා අනුමත කළ දීන පිරිසක්‌ ද ඒ අතර සිටි බව අප අමතක කළ නොහේ. ඇහැලේපොල කුමාරි හාමිගේ ඝාතනය සිදුකළ 1814 මැයි 17 දිනට පසු මේ කෲර රජුට තම රජකම රැක ගැනීමට හැකි වූවේ තවත් මාස 9 ක්‌ හා එක්‌ දිනක්‌ පමණි. ඉංග්‍රිසීන් හා එක්‌ වූ ඇහැලේපොල ඇතුළු පිරිස රොබට්‌ බ්‍රවුන්රිග් හා එක්‌ව කළ මෙහෙයුමකින් 1815 පෙබරවාරි 18 වන දා 'රාජසිංහ රජු' ඉංග්‍රීසීන් යටතට පත්විය.

    'ඉඟුරු දී ගම්මිරිස්‌ ගන්නට' අපට සිදු විය. 1815 ඓතිහාසික කන්ද උඩරට ගිවිසුමෙන් පාලනය භාරගත් ඉංග්‍රීසීහු ඉතිරි සංහාරය පටන් ගත්තේ රට වෙනුවෙන් කැප වූ රදළවරු, මහා සංඝයා වහන්සේ ඇතුළු ජනතාව මරා දමමිනි. මේ සඳහා අල්ලා ගන්නා ලද ප්‍රභූවරු ඔවුන් සිරකර තැබුවේ ඇහැලේපොල වලව්වේය. මෙයටද එක්‌ හේතුවකි. මරා දමන ලද පිsමතලව්වේ මහ නිලමේගේ වලව්ව මේ වන විට ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ආණ්‌ඩුකාර
    1825 වසරේදී මුරුසියට පිටුවහල් කෙරුණ ඇහැලේපොල නිලමේ 1829 අප්‍රේල් මස මිය ගියේය
    නිල නිවස බවට පත්ව තිබිණ. ජෝන් ඩොයිලි, භාෂා පරිවර්තකයකු ලෙස සදර්ලන්, රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරුනට සහාය වෙමින් මෙහි පදිංචිව සිටියහ. අල්ලාගෙන ආ සිරකරුවන් තම තම ආරක්‍ෂාව යටතේ තබා ගැනීමේ හොඳම ස්‌ථානය බවට ඇහැලේපොල වලව්ව පත්ව තිබිණ. 1817 සැප්තැම්බර් මාසයේ මඩුගල්ලේ බස්‌නායක නිලමේ සහ ඇල්ලේපොල නිලමේ ඇතුළු පිරිස රඳවා තැබුවේ ඇහැලේපොල වලව්වේය. කැප්පිටිපොල නිලමේ, මඩුගල්ලේ උඩුගබඩා නිලමේ හිසගසා මරණතුරු රැඳවීමද මෙහි සිදුවිය.

    මුලදී මොල්ලිගොඩ හා එකතුව ඇහැලේපොලට විරුද්ධව කටයුතු කළ 'කන්දේපොල පසුව රජුට විරුද්ධව ඇහැලේපොල හා එක්‌ව කටයුතු කිරීම නිසා උදහස්‌ වූ රජු' 'කන්දේපොල' අල්ලා දස වධදී මරා දමනු ලැබිණ. එය දුටු අයකු කළ විස්‌තරයක්‌ මෙසේය.



    කන්දේපොල මැති තදකර බැඳගෙන කුදලාගෙන කරුණා එළියේ

    වින්දේ සැපමයි කරුනා පනතින් මගේ කාරිය අද පැරද ගියේ

    කන්දේ පොල මැති තිස්‌දෙක වධකර නෙත් දෙක උගුලා දැමූ එලියේ

    බැන්දේ තදකර කියත් ලවා ඇද නූල් ගසා ඉරු දෙක සරියේ



    ඉරා කොටා අත පය, ඇස්‌ කන් පොතු, කපා කරපු තිස්‌ දෙකක්‌ වදේ

    නුරා කරපුහැටි 'කළකම් පලදුනි' රජුගෙන් බත් කෑවට වදේ

    ඉරාපූ ඉරුදෙක එල්ලා දමා ගොස්‌ ගත්තාට වල්වල පෙනෙයි වදේ

    පරම්පරාවට වරිගෙ සියල්ලට දැන මුතු වෙන්නට කරපු වදේ



    කේලාම් කියා රජු සහ ඇහැලේපොල කෙටවූ මොල්ලිගොඩ අවසානයේ රාජෙද්‍රdaහි චෝදනාවලට ලක්‌ වුවද පසුව නිදහස්‌ විය. එහෙත් ශ්‍රී වික්‍රම රජු මෙන් දැඩි මත්පැනට ලක්‌ වූ ඔහු සුරාපාන, දුශ්චරිතය නිසාම අන්ත දුක්‌ විඳ මිය පරලොව ගිය අතර ඔහුගේ එකම පුතාද සුරාපානය නිසාම විසි එක්‌ හැවිරිදි වියේදීම මිය ගියෙන් මොල්ලිගොඩ නාමයද වැළලී ගියේය.

    ශ්‍රී වික්‍රම රාජසිංහ කාලය වන විට රජුගේ වධක ස්‌ථානය වූවේ මෙම භූමියයි. 1818-10-27 දින මෙම ස්‌ථානයෙන් ඇහැලේපොල අධිකාරම් සහ එතුමාගේ සොහොයුරාගේද හිස ගසා මරා දැමූ ඉංග්‍රීසීහු 1818.11.18 දින මඩුගල්ලේ සහ කැප්පිටිපොල නිළමේගේ ද ගසා දැමූ හිස මහපොළොව සිපගත්තේ මෙහිදීය. 1818 කැරැල්ලට හසු වූ 47 දෙනාගෙන් 28 දෙනකු බෝගම්බර මෙම ස්‌ථානයේදී එල්ලා මරා දැමූ අතර 16 දෙනකු රටින් පිටුවහල් කෙරිණි. මෙදිනම කිවුලේ ගෙදර මොහොට්‌ටාලටද මරණය හිමි වූ අතර මෙම අයට මරණය දෙනතුරු රඳවා තැබුවේ ඇහැලේපොල වලව්වේය. ඇහැලේපොල වලව්ව එදා සිට මෙදා 2013 දක්‌වාම රිමාන්ඩ් බන්ධනාගාරය විය. මරණයට පත් කළ ස්‌ථානය බෝගම්බර බන්ධනාගාරය විය.

    ක්‍රි. ව. 1815 දී ඉංග්‍රීසීන් අතට පත්ව සිංහලේ වීරයින් සහ අපරාධකරුවන් රඳවා තබන රිමාන්ඩ් බන්ධනාගාරයක්‌ බවට පත් වූ ඓතිහාසික ඇහැලේපොල වලව්ව, 1948 ඩොනමෝර් කොමිසමෙන් නිදහස ලැබූ සිංහල රජයද එසේම ඉදිරියට පවත්වාගෙන ගියහ. ක්‍රි. ව. 1972 මැයි 22 'එදා සිලෝන්' නම් වූ මේ රට 'ශ්‍රී ලංකා' යන නමින් ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්‌ වුවද මේ උතුම් ඇහැලේපොල වලව්වට නම් නිදහසක්‌ නොවීය. 1979 සිට විධායක ජනාධිපතිවරුනට මෙය 'නිදහස්‌ කරන්නට' වුවමනාවක්‌ නොවීය. එහෙත් 2007 සිට බලයට පැමිණි  ජනාධිපතිතුමා එදා අපේ ජාතියේ 'හිරකූඩුව' නිදහස්‌ කර ජාතියට භාරදීමට 2013 ජූනි 20 ගත් පියවරට ජාතියේ ප්‍රණාමය සදා හිමිවනු ඇත. එසේ වැළලී ගිය අතීතය වැනසී යන වර්තමානයට ගෙන ඒම සඳහා කරනු ලබන උත්සාහයේදී එහි භාරකරුවන් බවට පත්වන අය එහි භාරකරුවන් බවට පත්වන අය එහි අයිතිකරුවන් සේ ක්‍රියා කොට එවැනි ස්‌ථානවල තොරතුරු ලබා නොදෙන්නේ නම් එය කනගාටුවට කරුණකි. අප විසින් කළ යුත්තේ ජාතික උරුමයන් වූ මෙවැනි ස්‌ථාන පිළිබඳව වැළලී ගිය තොරතුරු අතගා අනාගත පරපුරට අනාවරණය කොට එහි ශ්‍රෝෂ්ඨත්වය, ඓතිහාසිකත්වය පෙන්වා දීම අප සතු කාලයේ වගකීමයි. ලෝක උරුමයක්‌ වූ අපේ උරුමය අනාගත පරපුරේ උරුමයයි. එය රැකීම අපේ යුතුකමයි. සත්‍ය බබළන්නේ එය විවෘත වූ විට මිස අඟුලූ දමා වසා තැබීමෙන් නොවේ.

    බටුගොඩ එම්. එස්‌. රණතුංග



    ආශ්‍රිත ග්‍රන්ථ (-

    කන්ද උඩරට - අනුරාධ සෙනවිරත්න උඩරට මහ කැරැල්ල - විමලානන්ද තෙන්නකෝන්

    දුම්බර පුරාණ - එස්‌. බී. කරල්ලියද්ද

    සංCදිය ලංකා ඉතිහාසය - කොරිංටන්

    ලංකාදීප පුවත්පත - එල්. බී. ජයසිංහ (2013. 07. 02)

    ඩොයිලි දිනපොත

    ත්‍රි සිංහලය - පෝල් ඊ පීරිස්‌

    (ඇහැලේපොල දරුවන් කෙටවීම)

    බ්‍රොaහියර් හඳුනාගත් ලංකාව - පෝල් ඊ. පිරිස්‌

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture