lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Tuesday, October 4, 2016

    ආනන්ද කුමාරස්වාමි කවුරුද?

    පෙර ලිපිය -

    ‛නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි’ – වික්ටර් අයිවන්


    හෙන්රි දහනායක
    ඔහු උපත ලද්දේ 1877 අගෝස්තු මස 22 දා ය. එ් වූ කලී බි‍්‍රතාන්‍යයන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයේ උද්දීප්තිමත් යුගයයි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව භාරතය ඇතුලූ සමස්ත ආසියාවේ ම පැවැති ඉපැරණි, විචිත‍්‍රවත්, අභිමානවත් සියලූ පෙරදිග සංස්කෘතීන් හා සාරධර්ම ආදී අශීලාචාර යුගයට අයත් කුණු කසළ සේ බැහැර කළ අධිරාජ්‍යවාදීන් හමුවේ දෑතින් වැටී ඉඳුල් බුදින නිවටයන් බඳු ස්වදේශික ප‍්‍රභූන් රටතුළ වැජඹුණූ යුගයකි එය.

    වීඩියොව බලන්න 
    ආනන්ද කුමාරස්වාමි උපත ලද්දේ මහාසාර සිටුකුලයක සැපසම්පත් මැදයි. ඔහුගේ මව වූයේ එංගලන්තයේ කෙන්ට් ප‍්‍රදේශයේ ප‍්‍රභූ පවුලකට අයත් එලිසබෙත් ක්ලේ බිබී නම් වූ සුදු ජාතික කාන්තාවකි. මූලික අධ්‍යාපනය ලංකාවේ දී ලැබුවත්, ඔහු දොළොස්වැනි වියේදී එංගලන්තයේ වයික්ලිප් විද්‍යාලයට ඇතුළු වී, එතැනින් ලන්ඩන් සරසවියට පිවිස භූගර්භ විද්‍යාවෙන් ප‍්‍රථම පන්තියේ සාමාර්ථයක් ලැබීය. ආසියාතික සිසුන් යුරෝපයේදී කොන්කරනු ලැබුවත් ආනන්දගේ ප‍්‍රියමනාපතාව හා දක්ෂතාත් නිසා ඔහු එම වයික්ලිප් විදුහලේ ශිෂ්‍යනායකයා වී සිටියේය. 1903 දී ඔහු ලන්ඩන් සරසවියේ සම්පත්දායක සාමාජිකයකු බවට පත්විය. 1903 දී ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණියේ ඒ සරසවියේ ඛනිජ විද්‍යා පර්යේෂකයකු මෙන්ම එම අංශයේ අධ්‍යක්ෂකවරයාද ලෙසයි. ප‍්‍රථමයෙන් ඔහු සිය ශ‍්‍රී ලංකා ජන්ම භූමිය තුළ ක‍්‍රියාත්මක වූයේ ඒ ලෙසය.

    ඔහු වෘත්තීය වශයෙන් පැවැරුණු ඛනිජ සම්පත් පරියේෂණ මෙන්ම තවත් දේශීය සම්පත් රැුසක් පිළිබඳ පර්යේෂණ කළේය. ගොන් බැඳි කරත්තවලින් හෝ පයින්, ලක්දිව ගම්දනව්, කඳුහෙල්, වනාන්තර ආදියෙහි සැරිසැරූ ඔහුට මේ රටේ අතීත සංස්කෘතියේ ශ‍්‍රී විභූතිය පිළිබඳ වූ විවිධ නටබුන් හමුවිය. ඔහු ඒවා විද්‍යාත්මක ව පරීක්ෂා කළේය.


    සබරගමු පළාතේ හා තවත් පළාත්වල ගම්මානවල ජන ජීවිතය, සිරිත් විරිත් ඇතුළු විවිධ ජනශ‍්‍රැති අධ්‍යයනය කළ ඔහු ඒවා නිගා කොට බැහැර කළ අයටද දැනගනු සඳහා ශාස්ත‍්‍රීය ලේඛන සම්පාදනය කොට ඒවා රාජකීය ආසියාතික සමිතියේ ශාස්ත‍්‍රීය සඟරාවෙන් මෙන්ම එකල බටහිර රටවල පළවූ පුවත්පත් සඟරා ආදියෙහි පළකරවීය.
    දේශීය විද්වතුන් ලෙස එකල වැජඹුණු ඉංග‍්‍රීසි උගතුන් පය වැකි කුණු දූවිලි සේ බැහැර කළ ආප්තෝපදේශ, ප‍්‍රස්ථාව පිරුළු, ජන ගී, ජනකවි එක්කළේය. පැදුරු විවීම, නියඳ කලා, දුම්බර කලා, ලාක්ෂා කලා, රන්රිදී පිත්තල කැටයම් කලා, චිත‍්‍ර, මූර්ති, නැටුම්, යාතුකර්ම ආදී අපේ සංස්කෘතිකාංග ලිපි සම්පාදනය කළේය.
    මධ්‍යකාලීන සිංහල කලා නම් වූ ග‍්‍රන්ථය, දේශීය සිංහල කලා හා කර්මාන්ත පිළිබඳව ලියැවුණූ ග‍්‍රන්ථයකි. ඇත්දත් කැටයම්, පිත්තල කලාත්මක නිර්මාණ, දැව කැටයම් හා කර්මාන්ත, ලාක්ෂා කලාව, රන් රිදී ආභරණ මෝස්තර ආදී දේශීය පාරම්පරික කලා ශීල්ප ඔහු එම කෘතියෙන් සවිස්තරව විචාරය කොට ඇත.
    යකඩ වානේ ලෝකඩ ආදී දේශීය කර්මාන්ත පිළිබඳව සිංහලයාගේ කුසලතාව ඔහු ඒ කෘතියේ විස්තර කොට ඇත. ඉංග‍්‍රීසියෙන් ලියැවුූණූ මේ පොත සිංහලයට පෙරළා පළකොට ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුව විසිනි.

    එතුමා ලියූ පොත්පත් හා ශාස්ත‍්‍රීය ලිපි ප‍්‍රමාණය විශාලය. ඒවායින් බොහෝ පොත් හා ලිපි පෙරදිග දර්ශනය හා පෙරදිග කලාව පිළිබඳව ලියැවුණේ ය. ඒවායින් වැඩි සංඛ්‍යාවක් හින්දු හා බෞද්ධ දර්ශනය හා එම කලා ශිල්ප පිළිබඳව යි.

    ඔහු මෙහි සඳහන් කළ මධ්‍යකාලීන සිංහල කලාශිල්ප ලීවේ 1918 දීයි. එය එකී විෂයයන් පිළිබඳව ලියැවී ඇති අද්විතීය කෘතියකි. රාජපුත‍්‍ර චිත‍්‍ර (1916) ඉන්දියානු හා ඉන්දුනීසියානු කලා ඉතිහාසය (1927) බුදුන් හා බුදු සසුන (1916) හින්දු ධර්මය හා බුද්ධ ධර්මය (1945) ගෞතම බුදුන්ගේ ජීවමාන වත (1948) වැනි කෘතීන් විශේෂයෙන්ම බටහිර රටවලට හින්දු හා බෞද්ධ සංස්කෘතිය හඳුන්වා දුන් අගනා නිර්මාණය.


    ආනන්ද කුමාරස්වාමි විවිධ මාතෘකා යටතේ ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ජර්මන් යන භෘෂාවලින් ලියැවුණු පොත් හා ලිපි සංඛ්‍යාව 500 ඉක්මවා යයි. ඉංග‍්‍රීසි, ලතින්, ග‍්‍රීක්, ජර්මන් යන අවරදිග භාෂාවනුත්, සංස්කෘතික, පාලි, හින්දි, දෙමළ සහ සිංහල වැනි පෙරදිග භාෂාවනුත් පිළිබඳ දැනුමක් ඔහුට තිබිණි.
    බුදුදහම හා හින්දු දහම මිලේ්ච්ඡුයන්ගේ ඇදහීම, පිළිම වන්දනා, වෘක්ෂ වන්දනා ආදී ලෙසින් වරදවා වටහාගත්් අවරදිග ජනතාව ඔහු ලියූ පොත් පත්, ලිපි ලේඛන නිසා සත්‍යය වටහා ගත්හ. එතුමා අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය පරිහානියට පත් යුගයේ ලියූ වැදගත් කෘතීන් අතරින් පහත සඳහන් මාතෘකා කිහිපයක් මෙහි සටහන් කරන්නේ ආනන්ද කුමාරස්වාමි සිංහල බෞද්ධයාට සුවිශේෂී වන බව දැන්වීමටයි.

    උඩරට රඳළවරුන්ට විවෘත සන්දේශයක් (1905- පෙබරවාරි 17 ඩබ්සෝවර් පත‍්‍රය),
    නූතන උඩරට ගෘහ නිර්මාණ ශිල්පය (සරසවි සඳරැුස 1905 ඔක් 12)
    උඩරට කලාව, එහි අදහස හා එහි අවසානය (සිලොන් නැෂනල් රිවීව් 1906-1-12)
    අනුරාධපුර ඉසුරුමුණියේ කපිලගේ රූපය (ස්පොලියා සිලනිකා 1909)
    හින්දු හා බෞද්්ධ දේවකතා (1914 – ලන්ඩන්)
    රබින්ද්‍රනාත් තාගෝර් සමග ආනන්ද කුමාරස්වාමි
    කැලණි විහාරයේ චිත‍්‍ර සහිත සිවිලිම (භාරතීය කලා සඟරාව 1914)
    භාරතයේ බෞද්ධ කලාව (ස්ක‍්‍රිබ්නර්ස් සඟරාව 1916)
    පැරණි බෞද්ධ ප‍්‍රතිමා (බර්ලින්ටන් සඟරාව 1916)

    මෙවැනි ලිපි සියගණනක් ඔහු ඉංග‍්‍රීසි, ප‍්‍රංශ හා ජර්මන් බසින් ලියූ අතර අපේ රටේ පරිහානියට පත්වන දේ්ශීය සංස්කෘතිය පිළිබඳව ද ඔහු කරුණූ ඉදිරිපත් කළේය.
    ආනන්ද කුමාරස්වාමී ශ‍්‍රී ලංකාවේ විසුවේ ඉතා කෙටි කාලයකි. ඒ කෙටි කාලය තුළ ඔහු පිටිසර ගම්මානවල සැරිසරමින් ඔවුන් ගැඹුරු ලෙස අධ්‍යයනය කළේය. නූතන බටහිර ක‍්‍රමයේ අධ්‍යාපනය නිසා උගත්කම්ලත් නාගරික මධ්‍යම පන්තිය ට වඩා වැඩි අගයක් ඔහු ශ‍්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනය නොලත් එහෙත් පාරම්පරික සංස්කෘතියෙන් හික්මුණූ ගැමි ජනතාව තුළ විද්‍යාමාන වන බව දුටුවේය.

    ඔහු නූතන බටහිර ඌරුවේ අධ්‍යාපන ක‍්‍රම විවේචනය කළේය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ස්වභාෂාවෙන් විය යුතුය යන අදහස මුලින්ම කියා පෑවේ ආනන්ද කුමාරස්වාමී මහතාය. ශ‍්‍රී ලංකාවට විශ්ව විද්‍යාලයක ඇති අවශ්‍යතාව පෙන්වා දුන් එක් විද්වතෙකි ආනන්ද කුමාරස්වාමි.
    ආනන්ද කුුමාරස්වාමි මහතා පිළිබඳව මේ රටේ සිටි දේශපාලනඥයන්ට වැටහීමක් නොතිබිණි. එහෙත් විදේශීය විද්වත්හු එතුමා ගැන කරන ලද ඇගැයීම් කිහිපයකින් මේ ලිපිය අවසන් කරන්නේ එතුමාගේ නම සඳහන් නාම පුවරුව ගලවා ඒ වෙනුවට නෙළුම් පොකුණක් ආරෝපණය කළ මූග්ධයන්ටත්, එය ඉවසා, ඒ මූග්ධයන්ට ප‍්‍රශස්ති ගැයූ වන්දිභට්ටයන්ටත් දැනගැනීම සඳහාය.

    ‘ශ‍්‍රී ආනන්ද කුමාරස්වාමී වනාහී පෙරදි උසස් පෙළේ ප‍්‍රාඥයන්ගෙන් කෙනෙකි’. – සී. රාජ ගෝපාලාචරී
    ‘ආචාර්ය කුමාරස්වාමී මෑත කාලයේ පහළවුණු ශ්‍රේෂ්ඨතම ශාස්ත‍්‍රඥයන්ගෙන් කෙනකු බව අවිවාදයෙන් පිළිගත යුතුය.’ – ඇස්. රාධාක‍්‍රිෂ්නන් (සංස්කෘති 1955 සැප්. කලාපය)

    යුරෝපයේ හා ඇමෙරිකාවේ විද්වත්හුද එතුමා බෙහෙවින් අගය කළේ ඔවුන්ගේ පොත් හා ලිපි වඩාත් ප‍්‍රචලිතව පැවැතුනේ එකී රටවල හෙයිනි.
    උතුරේ යුද්ධයෙන් දිනුවත්, උතුරේ ජනතාව දිනා ගැනීමට අපට හැකිවූයේ නැතැයි වත්මන් ජනාධිපතිතුමා පසුගියදා පැවසීය. උතුරේ ජනතාවට වඩා දකුණේ ජනතාවට හිතකාමී සේවාවක් ඉටුකළ උතුරේ දෙමළ ප‍්‍රභූ පරපුරකට අයත් ආනන්ද කුමාරස්වාමී වැනි ලෝක පූජිත විද්වතකු සිහිපත්වීමට තිබූ එකම සිහිවටනය වූ මාර්ග නාම පුවරුව පවා ඉවත්කළ දකුණේ නායකයන් කෙරෙහි උතුරේ ජනතාව අප‍්‍රසාදය පළකළේ පසුගිය ජනාධිපතිවරණයේදී කතිරය භාවිතා කරමිනි.
    උතුරත් දකුණත් සැබැ ලෙස එක්කිරීම කෝටි ගණන් සල්ලි වපුරා කොන්ක‍්‍රීට් උයන් තැනීමෙන් කළ නොහැකියි. දෙමළ සංස්කෘතියත්, සිංහල සංස්කෘතියත් අතර ඇති ඓතිහාසික ඥාති සබඳතාව දෙපිරිසට ම මතක් කරමින් කළයුතු, කළහැකි බොහෝ දේ ඇත. නව ජන නායකයන් විසින් එය ඉටුකිරීමට සුදුසු කටයුතු සම්පාදනය කරන විට ජනතාව නිතැතින් ඒවාට සහාය වනු ඇත.

    ආනන්ද කුමාරස්වාමී මාවත යථාවත් කිරීම ප‍්‍රමාණවත් නොවේ. එතුමාගේ පිළිරුවක් ද ඒ මාවත ඇසුරෙහි තැනීම ඉතා උචිතය.
    (මූලාශ‍්‍ර – සංස්කෘති 1955 සැප්. කලාපය පූජිත ජීවිත දෙවැනි වෙළුම. සංස්කෘතික දෙපාර්තමේන්තුව)










    පෙර ලිපිය -

    ‛නෙළුම් පොකුණට වඩා ආනන්ද කුමාරස්වාමි හුඟක් ලොකුයි’ – වික්ටර් අයිවන්


    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture