lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Thursday, November 10, 2016

    සීතාවක රාජසිංහ.. බ්රැන්ඩි කෝවිල හා අරිට්‌ඨකී වෙන්ඩු ....රාජා හෝ...... මා හෝ....... ගංගා හෝ.......

    "රාජා හෝ...... මා හෝ....... ගංගා හෝ......." මෙම කියමන අප කොතෙකුත් නම් අසන්නට ඇත. එහෙත් එය අසා ඇති අය අතර එවැනි ප්‍රකාශයක ඇරඹුම කෙලෙස සිදුවීද? යි දන්නෝ සිටින්නේ ඉතා අතළොස්‌සක්‌ විය හැකිය.

     සීතාවක ගඟ සමීපව ඉදි කෙරෙන බැරැන්ඩි කෝවිල දෙස පළමු වැනි රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ (1554-1591) රජු බලා සිටියේ නො ඉවසිල්ලෙනි. තමන් අදහන්නට වූ ශිව දෙවියන් වෙනුවෙන් එම කෝවිල පුද කෙරෙන අයුරු එතුමා සිහිනෙන් පවා දකින්නට ඇත.

    බයිරැන්ඩි හෙවත් බැරැන්ඩි යනු ශිව දෙවියන් හැඳින්වෙන පර්යාය පදයකි. උන් වහන්සේ වෙනුවෙන් මෙරට ඉදි කෙරෙන අලංකාරවත් කෝවිල සීතාවක රාජ්‍යයේ ඉදි කිරීම සීතාවක රාජසිංහ රජුගේ ඉමහත් බලාපොරොත්තුවක්‌ විය.

    තම සිතැඟි පරිදි ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක්‌ ඉදි කිරීම සඳහා රාජසිංහ රජුට ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙක්‌ විය. ඔහු "අරිට්‌ට කී වෙන්ඩු පෙරුමාල්" ය. හෙතෙම රජුගේ උපදේශකයා ද විය.

    සීතාවක රාජසිංහ රජ දවස ඉන්දියාවේ සිට පෙරුමාල්වරු සත් කට්‌ටුවක්‌ පැමිණි බව කියවේ.

    වංශවත් ද්‍රවිඩ පවුල්වලට අයත් වූ ඔවුහු ශිව ආගම ඇදහූවෝ වෙති. සිංහල ජනතාව අතර ද ප්‍රසිද්ධ වූ ඔවුහු රජුගේද විශ්වාසය දිනා ගත්හ.

    අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල් රාජ්‍ය සේවයට එකතු විය. ඒ මනම්පෙරුම මොහොට්‌ටි ලෙස ඔහු සිය නමද වෙනස්‌ කර ගත්තේය. ඔහු සීතාවක රජුගේ මහාමාත්‍ය ධුරයටද පත්විය. ශිව ආගම වැළඳ ගැනීමට රජු පෙළඹවූ පුද්ගලයාද වූයේ මනම්පෙරුම මොහොට්‌ටිය. ඒ නිසා මහා සංඝයා වහන්සේ ඇතුළු මහ ජනතාව ඔහුට විරුද්ධව සිටියහ. එහෙත් රාජ උදහස නිසා එය එළියට පැමිණුනේ නැත.

    බැරැන්ඩි කෝවිලේ ඉදි කිරීම් සිදු කෙරුණේ මිනිසුන් දෙදහසකගේ පමණ ශ්‍රම දායකත්වයෙනි. එය අවුරුදු විස්‌සක්‌ තිස්‌සේ සිදු කෙරුණු බව පෘතුගීසි ජාතික ලේඛක කුතෝ සඳහන් කරයි.

    අවිස්‌සාවේල්ල, යටියන්තොට පාරේ ගමන් කරන විට හමු වන තල්දූව හංදියේ සිට මීටර් සියයක පමණ දුරින් බැරැන්ඩි කෝවිලේ නිෂ්ටාවශේෂ අද පවා දැක ගත හැකිය. සීතාවක ගඟ සමීපව එදා සීතාවක රාජධානියේ අග නගරය වූ වර්තමාන අවිස්‌සාවේල්ලට පෙනෙන තෙක්‌ මායිමේ බැරැන්ඩි කෝවිලේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරිණි.

    ලංකාවේ පෘතුගීසි යුගය නමැති ග්‍රන්ථය මඟින් පෝල් ඊ පීරිස්‌ මහතා කෝවිල පිළිබඳ ද සටහනක්‌ තබා ඇත. කෝවිලේ බිත්තිවල වර්ණ සිතුවම් ඇඳ තිබූ බව එක්‌ අදහසකි. රාම රාවනා යුද්ධය, මහා භාරත කතා පුවත, අසුර යුද්ධය කඳ කුමරුගේ චිත්‍රය ද සිතුවම් කොට තිබූ බවද එහි සඳහන් කොට තිබේ. එමෙන්ම දෙමළ සංගීතයට අනුව නර්තනයන්ද මෙම කෝවිලේ දී පැවැත්වුණු බවද කියයි.

    නමුත් අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල් විසින් බැරැන්ඩි කෝවිලේ ඉදිකිරීම් කටයුතු සිදු කොට ඇත්තේ එය අවසානයක්‌ දැකීමට නම් නොවේ. බැරැන්ඩි කෝවිලේ ඉදිකිරීම් කටයුතු අවසන් නොවූ බවට එම ස්‌ථානයේදීම දැක ගත හැකි සාධක ඒ සඳහා සාක්‍ෂි දරමින් ඇත.

    අවුරුදු විස්‌සක්‌ තිස්‌සේ ඉදි කිරීම් කටයුතු සිදු කළද ඒ රජු විසින් ඇවිටිලි කරන වේලාවට පමණක්‌ බවටද උගතුන් අතර සැකයක්‌ පවතී. තවමත් බැරැන්ඩි කෝවිල සමීපව අඩක්‌ නිම කළ ශෛලමය නටබුන් එම අදහස වඩාත් තහවුරු කරයි.

    මනම්පේරි මොහොට්‌ටි මෙය නිමවනු දැකීමට කොතරම් අලස වූයේද යන්න ඔහු කළ බව කියන ජනප්‍රවාදයේ තවමත් රසවත් ලෙස පවතින "රාජා හෝ මා හෝ ගංගා හෝ....." ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. බැරැන්ඩි කෝවිලේ ඉදිකිරීම් කටයුතු රජු මිය ගිය පසු අතහැර දැමිය හැකි බවට ඔහු සිතුවේය. නොඑසේ නම් තමන් මිය ගිය පසු එම කරදරය අවසන් වන බව සිතුවේය. නැති නම් සීතාවක ගඟ ගලා බැරැන්ඩි කෝවිල විනාශ වනවාට ඔහු තුළ කැමැත්තක්‌ තිබිණි. ඉහත සඳහන් කියමන ජනතාව අතරට පැමිණ ඇත්තේ ඒ අනුවය.

    ද්‍රවිඩ වාස්‌තු විද්‍යාත්මක ලක්‍ෂණ පෙන්නුම් කෙරෙන බැරැන්ඩි කෝවිල ඉදිකිරීම සඳහා භාවිත කොට ඇත්තේ කැටයම් කරන ලද කළුගල් පමණි. බැරැන්ඩි කෝවිල අද පවා දැක ගත හැක්‌කේ තවමත් වැඩ අවසන් නොවූ කෝවිලක්‌ විලසිනි.

    බැරැන්ඩි කෝවිල සහ රජ මාලිගය අතර සීතාවක ගඟ හරහා පාලමක්‌ තනා තිබූ බවට ද ජනතාව තුළ අදහසක්‌ තිබේ. පාලමෙහි කණු සිටුවීම සඳහා හාරන ලද වළවල් කිහිපයක්‌ දැනුදු දැක ගත හැකි බව කියවේ. එමෙන්ම ගඟ පැත්තෙන් සහ බැරැන්ඩි කෝවිල පැත්තෙන් ගඟට බසිනා පඩි පේළියද වන බව ජනතාව ප්‍රකාශ කරති.

    සීතාවක ගඟ පිටාර ගලා බැරැන්ඩි කෝවිල ද විනාශ වූ බවට ද විශ්වාසයක්‌ පවතී. එම නිසා එහි ඉදිකිරීම් කටයුතු නිසි කාලයේදී සිදු නොවන්නට ඇතැයි සිතීම අපහසු නැත.

    බැරැන්ඩි කෝවිල ඉදිකිරීම් කටයුතු බාරව සිටි අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල් ද පසු කාලීනව ජනතාවගේ වඩාත් අප්‍රසාදයට පත්විය. ඔහු වෙනුවෙන් බැඳුණු උපහාසාත්මක කවි ඒ සඳහා වර්තමානයේ ද දිවිමන් සාක්‍ෂි සේ පවතියි.

    අතුරු මිතුරු දඹදිව තුරු
    රාජ කපුරු සෙට්‌ටියා
    වරා ගහක්‌ දුටින් බොලං
    වරා ගහට ගිහිං බොලං
    පුහු කලටිය නෙලිං බොලං

    අලුත ගෙන මනමාලි
    හාල් පතක්‌ ගරාලා
    බටු කොරහක්‌ කපාලා
    ඉහළ ගෙටත් බෙදාලා
    පහළ ගෙටත් බෙදාලා
    උසි කපුටෝ උසී.......

    අද පවා ලක්‌දිව ළමා පරපුර එම උපහාස ගීය ගයති. එහෙත් ඒ මඟින් එකල ප්‍රභූවරයකු උපහාසයට ලක්‌ කොට ඇති වගක්‌ නම් නොදනිති.

    සීතාවක රාජසිංහ රජුගේ අකල් මරණයෙන් පසුව බලයට පත් වන්නේ රාජසූර්ය" නමැති කුමාරයෙකි. ඔහු රාජසිංහ රජුගේ මුනුබුරෙකි. එහෙත් අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල් ඊට කැමැති නොවීය. එම කුමරා ද සීතාවක රජු ඝාතනයට හවුල් වූ අයකු ලෙස පෙරුමාල්ට සැක ඇති වී තිබිණි.

    අරිට්‌ඨ කී වෙන්ඩු පෙරුමාල් විසින් එම රාජසූර්ය කුමරු ඝාතනය කරන ලද්දේ එම අමනාපය නිසාය. ඉන් පසුව රජකමට පත්වූයේ සීතාවක රාජසිංහ රජුගේ සහෝදරියක වූ මපා බිසෝ බණ්‌ඩාර දේවිගේ පුත්‍රයෙකි. ඉන් පසුව රජ තනතුරේ තබා ගෙන රට පාලනය කරන ලද්දේ මනම්පේරි මොහොට්‌ටි විසිනි. එසේ සිටියදී ප්‍රතිකාල් ආක්‍රමණවලටද සාර්ථකව මුහුණදීමට ද ඔහු සමත් විය.

    බිසෝබණ්‌ඩාර දේවියගේ දූ කුමරියක සරණපාවා ගන්නට අදහසක්‌ මනම්පේරි මොහොට්‌ටිට පහළ වූයේ මේ අතරය. නමුත් ඊට බිසෝබණ්‌ඩාර දේවිය විරුද්ධ විය.

    සීතාවක එවක ප්‍රභූවරු මෙම අමනාප ප්‍රයෝජනයට ගනිමින් ඉහත දක්‌වන ලද කවි ඇතුළත් උපහාස කවි ඔහුට විරුද්ධව ගයන්ට විය. ඒවා කුඩා දරු දැරියන් අතර වඩා ප්‍රචලිත විය.

    පද කොක්‌කානම නම් වූ එම උපහාස කවි අතපත්තු ආරච්චි නමැති ප්‍රභූවරයකු විසින් රචනා කොට ඇත. සීතාවක බැරැන්ඩි කෝවිල හා ගඟ ආශ්‍රිතව වැඩිපුර ජීවත්වූ මනම්පේරි මොහොට්‌ටි ඒ අනුව ද උපහාසයට ලක්‌ කෙරිණි.

    ගාතාවක්‌ හිඟේ
    ගරුත මුහේ
    මුක බාණා

    හ්ම්.......හ්ම්......

    මනම්පේරි මොහොට්‌ටිට මෙම උපහාස කවි ඉවසා ගත නොහැකි විය. ජයවීර බණ්‌ඩාර නමින් ඔහු පෘතුගීසීන් හා එක්‌වී සීතාවකට පහර දෙන්නට තරම් පෙළඹුණේ එම උපහාස කවි නිසාය.

    බැරැන්ඩි කෝවිල මෙවැනි කුමන කරුණක්‌ නිසා හෝ සම්පූර්ණ ලෙස ඉදි නොවූ බව සිතීමට අපහසු නැත. සුප්‍රකට බැරැන්ඩි කෝවිල අපට ඒ නිසා දායාද වුණේ වැඩ අවසන් නොවූ කෝවිලක්‌ ලෙසිනි.

    පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. ඩී. පී. බෙල් මහතා විසින් 1890 දී පමණ මෙය ප්‍රතිසංස්‌කරණය කොට අද පවතින තත්ත්වයට ගොඩ නගා ඇත.

    දෙනගම-ධම්මික රණවීර

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture