lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Monday, November 25, 2019

    ඇහැලේපොල ද්‍රෝහියෙක්‌ ද?

    1815 මාර්තු 02 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම හෙවත් සිංහලේ සහ සිංහල බෞද්ධයාගේ ජාතික නිදහසේ මරණ සහතිකය නිකුත් කර 2015 මාර්තු 02 වන දාට වසර දෙසීයක්‌ පිරේ. එම ගිවිසුමට අත්සන් තබන ලැබූවන් අතරින් සිංහල පාර්ශවයේ ප්‍රධානියා වූ ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසළ පණ්‌ඩිත මුදියන්සේ දේශද්‍රෝහියකු ලෙස ඇතමුන් කරන හංවඩු ගැසීම සාධාරණ වූවක්‌ ද යන්න විමසා බැලීම මේ කෙටි ලිපියේ අරමුණ වේ. මෙහිදී නාවුල්ලේ ධම්මානන්ද, කිරිඇල්ලේ Æණවිමල, කොටගම වාචිස්‌සර වැනි විද්වත් හිමිවරුන්ගේත්, තෙන්නකෝන් විමලානන්ද, නුවරඑළියේ හේමපාල වැනි විද්වතුන්ගේත් ශාස්‌ත්‍රීය ලිපිලේඛන පරිශීලනය කර ඇති බව ඔවුන්ට ගෞරවයක්‌ වශයෙන් සඳහන් කළ යුතුය.

    සිංහලේ රජ වූ අවසන් සිංහලයා යන අපකීර්තිමත් නාමකරණයට උරුමකරු වූ කිසිදු වීරපරාක්‍රමයක්‌ තම පාලන කාලය ප්‍රදර්ශනය නොකළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහගෙන් පසු සිංහලේ පාලකයන් වූයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ සම්භවයක්‌ ඇති නායක්‌කර් වංශිකයන් ය. එහෙත් දකුණු ඉන්දියාවෙන් බිසෝවරු ගෙන ඒමේ සම්ප්‍රදාය දිගු කලකට පසු නැවත ආරම්භ කළේ ඔහු නොවේ. ඊට වගකිව යුත්තා වන්නේ දිගු කලක්‌ මහණදම් පුරා පසුව රජ වූ සෙනරත් (1604-1635) රජු විසිනි. ඔහු මෙන්ම ඔහුට පෙර රජකම් කළ කොනප්පුබණ්‌ඩාර හෙවත් ෂ වන විමලධර්මසූරිය රජු උභය කුල පාරිශුද්ධ රාජකීයයන් නොවී ය. ඔවුන් සිංහල කිරීටයට උරුමකම් කීවේ රජ පෙළපතකින් පැමිණි කුසුමාසන දේවිය හෙවත් දොaන කතිරිනා කුමරිය විවාහ කර ගැනීම හේතුවෙනි. මෙකල සිංහලේ රටවැසියන් තුළ තිබූ එක්‌ මිථ්‍යා විශ්වාසයක්‌ නම් සිංහලේ රජ වීමට නම් උභය කුල පාරිශුද්ධ රාජකීයයෙක්‌ විය යුතුම බවය. මෙවැනි මිථ්‍යා විශ්වාසවල පදනම් විරහිත බව පැහැදිලි කිරීමට සුදුසු බෞද්ධ භික්‌ෂු පරපුරක්‌ එදා වැඩසිටි බවක්‌ නොපෙනේ. ජනතාව තුළ පැවති එවැනි මිථ්‍යා විශ්වාස නිසා දකුණු ඉන්දියාවෙන් වඩුග කුමාරියන් ගෙන්වා තම පුතුන්ට විවාහ කර දීමට සෙනරත් රජු කටයුතු කළ අතර මේ සම්ප්‍රදාය සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ අවධිය දක්‌වාම පැවති බව පෙනේ.

    මධුරාපුරයට දූත පිරිස්‌ යෑවීමට, ඔවුන්ව කැඳවාගෙන ඒමට මතු නොව බිසෝවරුන්ගේ පරිවාර පිරිස්‌වලට සහ සමීප ඥතීන් නඩත්තු කිරීම සඳහා විශාල වියදමක්‌ දැරීමට සිංහල රජවාසලට සිදුවිය. ඇතැම් රජවරු, බිසෝවරු බොහෝ දෙනකු ගෙන්වා ගත්හ. මේ තත්ත්වය නිසා හටගත් අහිතකර ප්‍රතිඵලයක්‌ වූයේ රටේ බලපැවැත්වූ සිංහල බෞද්ධ සම්ප්‍රදායන් යටපත් වී ඒ වෙනුවට ද්‍රවිඩ හින්දු චාරිත්‍ර වාරිත්‍ර ඉස්‌මතු වීමයි. වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවේ හා සංස්‌කෘතියේ බලපෑම සිංහලයට ලැබුණු ආකාරයෙන්ම එදා දෙමළ සංස්‌කෘතික බලපෑමක්‌ එල්ල විය. අද ඉංග්‍රීසි උගත් හා නූගත් බොහෝ දෙනා ඉංග්‍රීසි බසින් අත්සන් තැබීමට උනන්දුවක්‌ දක්‌වන ආකාරයටම එදා උඩරට ගිවිසුමට අත්සන් තැබූ සිංහල නායකයන් නවදෙනාගෙන් හයදෙනකුම අත්සන් තබා ඇත්තේ සිංහල බසින් නොව දෙමළ බසිනි. වඩාත් තීරණාත්මක බලපෑමක්‌ වූයේ රජුගේ අනුප්‍රාප්තිකයා තෝරන සිංහල සම්ප්‍රදාය වෙනුවට ද්‍රවිඩ සම්ප්‍රදායේ අංගෝපාංග එකතු වීමයි. සිංහල ක්‍රමයට අනුව රජුගේ අනුප්‍රාප්තිකයා වූයේ මහජනතාවගේ සහ ඇමතිවරුන් වැඩි පිරිසකගේ අනුමැතිය ලබාගැනීමට සමත් වන රජුගේ සමීපතම ඥතිවරයාය. මීට පෙර රජ වූ සෙනරත්, II වන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය මතු නොව නරේන්ද්‍රසිංහ වැනි කුමාරවරු රජකම ලබාගත්තේ ඒ සිංහල සම්ප්‍රදායයට අනුවය. එහෙත් නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක්‌ මතු විය. එක්‌ පාර්ශවයක අපේක්‍ෂාව වූයේ යකඩදොaලියකගේ කුසින් රජුට දාව උපන් උනම්බුවේ බංඩාර නම් සිංහල කුමාරයා රජ කරවීමය. ඊට එරෙහි වූ නායක්‌කර් වංශිකයන්ට හිතවත් පිලේ යෝජනාව වූයේ රජුගේ බිසවගේ සහෝදරයා වූ ශ්‍රී විජයරාජසිංහ සිංහලේ රජු විය යුතු බවය. විජයරාජසිංහ කුමරු අධ්‍යාපනය ලබන ලද්දේ වැලිවිට සරණංකර සඟරජ හිමියන්ගෙන් වන අතර සඟරජ හිමියන්ගේ සහයෝගය හා ආශිර්වාදය හිමිවූයේද උනම්බුවේ බණ්‌ඩාරට නොව විජයරාජසිංහ නම් වූ නායක්‌කර් කුමාරයාටය. මින් පසුව බොහෝ අවස්‌ථාවලදී නායක්‌කර් වංශික රජු සහ සිංහල ඇමැති මණ්‌ඩලය අතර නොයෙක්‌ ආකාරයේ ගැටුම් නිර්මාණය විය. මේ නිසා සිංහලේ රාජ්‍යය තුළ දේශපාලන අස්‌ථාවරත්වයක්‌ මෙන්ම අවසාන වශයෙන් රටවැසියන්ට වසර දෙදහස්‌ පන්සියයක්‌ මුළුල්ලේ රැකගෙන ආ තම ජාතියේ ස්‌වාධීනත්වය හා අභිමානය ද අහිමිව ගිය බව පෙනේ.

    වරෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජු මල්වතු විහාරයේදී බොරු වළක හොවා ඝාතනය කිරීමට ගත් උත්සාහයක්‌ ව්‍යවර්ථව ගියේ හුලංගමුවේ බුද්ධරක්‌ත සහ මුස්‌ලිම් භක්‌තික ගෝපාල මුදලිගේ පාවාදීම නිසා ය. ප්‍රතිඵලය වූයේ සඟරජ හිමියන් සහ තිබ්බොටුවාවේ හිමියන් ඈත ප්‍රදේශවලට පිටුවහල් කිරීම සහ සමරක්‌කොඩි, මැටිපහන්පොළ සහ මොලදණ්‌ඩේ වැනි නිලමේවරුන්ට මැරුම් කෑමට සිදුවීමයි. මේ තත්ත්වය සැලකිල්ලට ගත් වඩුග රජවරු බෞද්ධ උපාසකයන් ලෙස ක්‍රියාකිරීම නිසා තාවකාලිකව ගැටුම් සමනය වුවත් අළු යට ගිනි පුපුරු මෙන් ඒවා වරින් වර ඉස්‌මතු විය. ලන්දේසීන්ගේ සහ ඉංග්‍රීසීන්ගේ උපකාරය ලැබ නායක්‌කර්වංශිකයන් පරාජය කර යළි සිංහල රාජවංශයක්‌ ඇති කිරීමට උත්සාහ ගත් පිළිමතලව්වේ මහාධිකාරම ඇතුළු තවත් බොහෝ නායකයන් පිරිසක්‌ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඝාතනය කරන ලද්දේ 1812 දීය. ඉන්පසුව මහාධිකාරම් ධුරයට පත් කරන ලද්දේ ඇහැල්පොල (1773-1829) මහනිලමේවරයාය.

    වැඩිකල් නොගොස්‌ම රජුත් ඇහැලේපොල නිලමේත් අතර අසමඟිකම් ඇති විය. නායක්‌කර් වඩිග බලය පෙරලා දමා යළි සිංහල රජෙකු පත්කර ගැනීමේ අභිලාෂයෙන් සිටි බොහෝ ඇමැතිවරුන් සිටි ඇමැති මණ්‌ඩලය තුළම වඩිගයන්ට පන්දම් අල්ලා තානාන්තර ලබාගැනීමේ නොතිත් ආශාවෙන් කටයුතු කළ සිංහල නායකයන් උඩරට රාජසභාවේ විය. මොල්ලිගොඩ සහ මිල්ලව යන දිසාවේවරු දෙදෙනාගේ ක්‍රියාකලාපය ඊට නිදසුන් ලෙස දැක්‌විය හැකිය.

    මුලින්ම ඇහැලේපොල සමග රජු අමනාප වූයේ රජුගේ විවාහෝත්සවයට ඇහැල්පොල එවන ලද ත්‍යාගය ප්‍රමාණවත් නොවීම නිසා යෑයි සඳහන් වෙයි. ඇහැලේපොල ඉංගී්‍රසින්ට එක්‌වීමට හේතු වූ කරුණුවලින් සමහරක්‌ ඔහුගේම වචනවලින් ම මෙසේය. "මීට ප්‍රථමයෙන් සිංහල රට වලංගු කරපු මහ ර-ජුරුවන් වහන්සේ රජ පැමිණුනායින් පසු පුරාණ මහ රජුගෙන් රාජ චාරිත්‍රවල් මුළුමනෙන්ම අත්හැර දමා ඔවුන් වහන්සේට හිතන හිතුන දේවල් කරමින් ආගමේ ගුරුවරු, මහනුන්නාන්සේලාට නොයෙක්‌ ලෙස ක්‍රෑරතර දේවල් කරමින් ප්‍රාණවලුත් හානි කරලා ඔවුන්ගේ වරිගෙවලුන්ඩත් නොයෙක්‌ හානි කරමින් ඔවුන් සතු දේපළත් පැහැරගෙන ලොවට අපමණ වෙහෙස දෙමින් මාත් නසන්නට උපාවල් යෝජිත කරලා. යනාදී වශයෙන් කර ඇති ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඇහැලේපොල මහ නිලමේ ඉංග්‍රීසීන්ට එකතු වීමට පදනම් වූ කරුණු බව පෙනේ. එහෙත් ආසන්නතම හේතුව එය නොවේ. මහජනයාට පීඩාකාරී බදු අයකිරීමකට රජු අණ කළ විට ඇහැල්පොල පවසා සිටියේ එය පෙර සිංහල රජසිරිත්වලට පටහැනි බවත් එය තමාගේ තනි මනාපයට කළ නොහැකි බවත් සියලු රදළවරු අතර සාකච්ඡා කර තීරණය කළ යුත්තක්‌ බවත් ය. රජ අණ නොපිළිගැනීම නිසා උදහස්‌ වූ රජු සබරගමුවේ සිටි ඇහැල්පොල මහනුවරට කැඳවනු ලැබීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ස්‌වරූපය දත් ඇහැලේපොල මහනුවරට නොපැමිණ ඉංග්‍රීසීන් සමග සාකච්ඡා පැවැත්වීය. ප්‍රතිඵලය වූයේ ඇහැලේපොලගේ සමීපතම ඥතීන් වූ සහෝදරයා, ඇහැල්පොල කුමාරිහාමි සහ දරුවන් හතරදෙනා, පුස්‌වැල්ලේ කුමාරිහාමි සහ ඇගේ දියණිය කෲර ලෙස ඝාතනය කිරීමයි.

    ඉංග්‍රීසීන් වෙත පලාගිය ඇහැල්පොලගේ පරමාර්ථය වූයේ රට ඉංග්‍රීසීන්ට පාවාදීම නොවේ. ඔවුන්ගේ සහයෝගය ලැබගෙන කෲර වඩිග වංශිකයන්ගේ පාලනයෙන් රට මුදාගෙන නැවත සිංහල රාජවංශයක්‌ බලයට ගෙන ඒමය. ඇහැලේපොලගේ පරමාර්ථය, ඔහුගේ සහාය පතා ඉංග්‍රීසීන් වෙත ගිය පසු සිංහලේ තම හිතවත් නිලමේවරුන් වෙත යවන ලද ලිපියකින් පැහැදිලි වේ. කොහොමත් වඩුග පරම්පරාව නිසා සිංහල සේනාව හැම විදියෙන්ම විනාශ වේ. ඉබාගාතේ ආ වඩුගයෝ කරන නපුරුකම් අසනවිට ඉවසාගත නොහැකි වේ. ර-ජුරුවන්ගේ යහපත් ක්‍රියා ද මොවුන් නිසා නෂ්ට වී ගියද අපේ දියුණුව ඔවුන් නොඉවසත්. අපේ සම්පත් සියල්ලක්‌ බලාත් ලෙස ගණිතත් රජ අණ මොවුන් හැර බැවින් දිනෙන් දින බලවත් අනදර වැඩේ. මේවා මැඬපවත්වා ආණ්‌ඩු කරවීමට මා කළ කී දේ කාටත් මතක ඇති. ඒ සියල්ල අපගේ සස්‌තෘ වූ නුනුවණ නපුරු ලෙස වාසලට දන්වා වවුල් ගතියෙන්... ආරක්‌ෂාවත් කැමැත්තෙන් සිටිත්. මේ සියල්ල අප ජාතියේ රජ පරපුර නෂ්ට වීමෙන් සිදු වූ විපත් යෑ. මෙම විපතින් ඉදිරියටවත් සිංහලය ආරක්‌ෂා වන අයුරු පරීක්‍ෂාවෙන් වැඩ කිරීම අප කාටත් බාර වැඩකි." යනාදී වශයෙන් පවසන ඇහැලේපොලගේ ප්‍රකාශයෙන් ඔහුගේ අරමුණ කුමක්‌ වී ද යන්න අවබෝධ කර ගත හැකි ය. මේ ලිපියේ ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉංග්‍රීසීන් උඩරට අල්ලාගෙන වසර විසිපහක්‌ ගත වීමට පෙර සිංහලයන්ට උඩරට ආණ්‌ඩුව කරගෙන යැමට ඉඩ දී ඉංග්‍රීසීන් පාතරට පාලනය කිරීමෙන් සෑහීමකට පත්වන බව රොබට්‌ බ්‍රවුන්රිග් ඔහුට දේවස්‌ථානයේදී දිවුරා පොරොන්දු වූ බවය. ඉංග්‍රීසීන්ට කිසිදු සටනකින් තොරව උඩරට රාජධානියට ඇතුළු වී බලය තහවුරු කර ගැනීමට ඉඩ සලසා දෙන ලද්දේ ඇහැලේපොල විසිනි. ඇහැලේපොල සමග පැමිණි ඉංග්‍රීසි හමුදාවට ගනේතැන්නේදී එකතු වූයේ මෙතෙක්‌ ඇහැලේපොලගේ පරම සතුරා වූ මොල්ලිගොඩ ය. මෙතැන් පටන් බලය තහවුරු කර ගන්නා තෙක්‌ ම ඉංග්‍රීසීන්ට ඇහැලේපොලගේ සහයෝගය ලැබිණි. සටනක්‌ අවශ්‍ය වුවහොත් එහිදී යොදාගත යුතු උපක්‍රම, රට බේරා ගැනීමට නම් ඉංග්‍රීසීන්ට එරෙහි නොවිය යුතු බව පවසමින් උඩරට නායකයන්ට හසුන්පත් යෑවීම, සිංහලේ රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ අල්වා දීම, රජුගේ රාජ කකුධභාණ්‌ඩ සොයා දීම සහ වෙනත් උපකාර ඇහැලේපොල විසින් ඉංග්‍රීසීන්ට ඉටුකර දෙන ලදී. එහෙත් ඊට සර්වසාධාරණ ඉංග්‍රීසිකාරයන්ගේ යහපාලනයෙන් ඇහැලේපොලට ලැබුණේ කවරාකාර ප්‍රතිඵලයක්‌ ද යන්න විමසා බැලිය යුතුය.

    ඇහැලේපොලට ඔහු දැරූ තනතුර ම ලබාදීමට ඉංග්‍රීසි ආණ්‌ඩුව උත්සාහ කළත් ඔහු එය ප්‍රතික්‍ෂේප කළේ ය. එමෙන්ම බ්‍රවුන්රිග් විසින් ඇහැලේපොල ඉටුකළ කාර්ය වෙනුවෙන් පගෝදි දෙදහසක මුදල් ත්‍යාගයක්‌ ලබා දෙන ලදී. ඔහු එය ද ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් පසු කලෙක නැවත ඉංගී්‍රසීන් විසින් පගෝදි පන්දහසක මුදලක්‌ ඇහැලේපොලට ලබා දුන් පසු දිගින් දිගටම සියල්ල ප්‍රතික්‍ෂේප කිරීමෙන් ඉංග්‍රීසි ආණ්‌ඩුව කිපෙතැයි සිතා ඔහු එම ත්‍යාගය භාර ගත්තේය. ඇහැලේපොලම පවසන පරදි තනතුරු භාර නොගැනීමට ඔහු තීරණය කර ඇත්තේ සතුරන්ගේ කරදර සහ සෞඛ්‍ය තත්ත්වයේ දුර්වලතාව නිසා බව කියෑවේ. එහෙත් ඔහු යම් දෙයක්‌ බලාපොරොත්තු වූ බව පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

    එසෙයින් මගේ හිත කය නිස්‌කලන්කව ගොවැර්නමේන්තුවේ වැඩකාරයෙක්‌ කියා ලොවට පෙනෙන්ඩත්, මට සනීප තිබෙන්ඩත් ර-ජුරුවන් වහන්සේට ඇරී තිබුණ දෙයින් මට ලැබෙනවා හොඳයි කී තැන උතුමාණන් වහන්සේ කියන්ඩ යෙදුණා ර-ජුරුවන් වහන්සේට තිබුණු නම්බුවක්‌ ඇති නම් ඉංග්‍රීසි ර-ජුරුවන් වහන්සේට තිබෙන්ඩ ඕනෑ කිව්වා. ඒ ගැන මම කිව්වා ර-ජුරුවන් වහන්සේට තිබුණු මුල නම්බුව මම ඉල්ලුවා නොවෙයි ඔවුන් වහන්සේගේ ගණනට ඇරී තිබුණු ගබඩාගන්වලට ර-ජුරුවන් වහන්සේගෙන් ලැබෙන නිලෙ මම ඉල්ලුවා කී තැන... යනාදී වශයෙන් ඇහැලේපොල සඳහන් කරයි. කෙසේ වෙතත් ඇහැලේපොලට සැලකිය යුතු වරප්‍රසාදයක්‌ ඉංග්‍රීසි ආණ්‌ඩුවෙන් නොලැබුණි. එහෙත් රටවැසියන් ඔහුව අමතන ලද්දේ දෙවැනි ර-ජුරුවෝ, යුවරජ යනාදී වශයෙනි. සිංහලේ රටවැසියන්ගේ සහ නිලමේවරුන්ගේ ඇහැලේපොලට තිබෙන පක්‌ෂපාතීභාවය, සටනකින් තොරව උඩරට ඇතුල් වී ආණ්‌ඩු බලය පිහිටුවා ගැනීමට ලද සහයෝගයෙන්ම ඉංග්‍රීසීන් වටහා ගන්නට ඇත. එබැවින් දැන් තමන්ට උඩරට සිටින අනතුරුදායකම පුද්ගලයා ඇහැලේපොල යෑයි ඉංග්‍රීසීන් සිතූ බව පෙනේ. රාජ්‍ය බලය තහවුරු කරගෙන වසර කීපයකින්ම ඉංග්‍රීසීන්ගේ යහපාලනයේ තරම සිංහලයන්ට වැටහී ගියෙන් 1817 දී වෙල්ලස්‌ස පළාත කේන්ද්‍ර කර ගත් විමුක්‌ති සටනක්‌ ආරම්භ වූ අතර එහි ප්‍රධානියා වූයේ ඇහැලේපොලගේ මස්‌සිනා වූ කැප්පෙටිපොළ ඌවේ දිසාවය. මේ විමුක්‌ති සටන මැඬපැවැත්වීමට ඩොයිලි විසින් පවසා සිටියත් ඇහැලේපොල පවසා සිටියේ එය අදාළ දිසාවේටම භාර දෙන ලෙස ය. තවද විමුක්‌ති සටන මැඬපැවැත්වීමට ඔහුගෙන් උපදෙස්‌ පැතූ විට ඒ සඳහා උපදෙස්‌ දීමෙන් ද ඇහැලේපොල වැළකී සිටියේය. අනෙක්‌ අතට සිංහාසනාපේක්‌ෂකයාගේ ප්‍රධානියා වූ කැප්පෙටිපොළ දිසාව විසින් සටන පැවති ප්‍රදේශවල සිංහලයන්ට ප්‍රකාශ කර සිටියේ මේ විමුක්‌ති සටනට ඇහැලේපොල මහනිලමේගේ ආශිර්වාදය හිමි වන බවය. මහනිලමේ විසින් එවනු ලැබුවේ යෑයි කියන ලිපි ඔහු මහජනතාව ඉදිරියේ කියෑවීය. සත්‍යය වශයෙන්ම ඔහු විමුක්‌ති සටනට උදව් කළා ද නැද්ද යන්න අද සොයාගත නොහැකිය. එය දන්නේ ඔවුන්ම පමණක්‌ වන බැවිනි.

    කෙසේ වෙතත් ඉංග්‍රීසීන් විසින් හදිසියේම මහනිලමේ සිරභාරයට ගෙන කොළඹට ගෙන ගොස්‌ නිවාස අඩස්‌සියේ තැබූ අතර එසේ කරන ලද්දේ 1818 දී ය. 1825 වන තෙක්‌ කොළඹ නිවාස අඩස්‌සියේ තැබූ ඇහැලේපොල නිලමේ 1825 දී මුරුසි දිවයිනට පිටුවහල් කර එහි නිවාස අඩස්‌සියේ තැබීමට යහපාලනය පිළිබඳව අද ලෝකයට උපදෙස්‌ ලබාදෙන සර්වසාධාරණ ඉංග්‍රීසි ආණ්‌ඩුව කටයුතු කළේය. වරදක්‌ කර ඇත් නම් නඩු විභාග කර දඬුවම් දෙන ලෙස ඉල්ලා ඇහැලේපොල විසින් වරින් වර ඉංග්‍රීසි ආණ්‌ඩුවෙන් පෙත්සන් මගින් ඉල්ලීම් කරන ලදී. එහෙත් යහපාලන ඉංග්‍රීසි ආණ්‌ඩුවට ඔහුගේ ඥතීන්ට සහ දරුවන්ට වූ දේම බව මෙහිදී සිහි කළ යුතුය. ඔහුගේ අගය කළ යුතු තවත් ගුණධර්මයක්‌ නම් ජීවිතාන්තය දක්‌වාම පන්සිල් රකිමින් බණ පොත් කියවමින්, තම ආගම දහම පාවා නොදෙමින් කටයුතු කර තිබීමය. ඔහු අතින් සිදුවූ වරදක්‌ ඇතොත් ඒ ඉංගී්‍රසීන්ව විශ්වාස කිරීම ය. එහෙත් ඔහුට ඒ පිළිබඳව දොස්‌ පැවරීම සාධාරණද? මක්‌නිසාද යත් ඒ වනතෙක්‌ම ඉංග්‍රීසීන්ගේ කුමන්ත්‍රණකාරී, කුපාඩිකම් පිළිබඳව සිංහලයන්ට අවබෝධයක්‌ නොතිබීමය. එබැවින් ඇහැලේපොල යනු දේශද්‍රෝහියකු නොවන බවත් අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ ජාතික නායකයකු බවත් අපට පැවසිය හැකිය. අනෙක්‌ අතට සර්වසාධාරණ ඉංග්‍රීසීන්ගේ යහපාලනය වසර 133 ක්‌ සහ ඔවුන්ගේ සුවච කීකරු කලු සුද්දන්ගේද යහපාලනය විඳ ඇති අප අපේ රට දැය සමයට යම් පමණකින් හෝ මෙහෙයක්‌ ඉටු කළ නායකයකු ගෙදර යවා ඇත. ඇහැලේපොලට දේශද්‍රෝහී චෝදනාව එල්ල කරන සියලු දෙනා ඉතා ගැඹුරින් කල්පනා කළ යුතු දෙයක්‌ වන්නේ තමා සුද්දන්ට සහ ඔවුන්ට කත් අදින කලු සුද්දන්ගේ කුමන්ත්‍රණවලට රැවටී රටට දැය සමයට එරෙහි වූවෙක්‌ ද නැද්ද යන්නයි.


    සුමේධ වීරවර්ධන

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    දර්ශන හා මනෝවිද්‍යා අංශය
    ශාස්‌ත්‍රපීඨය
    පේරාදෙණිය විශ්වවිද්‍යාලය
    පේරාදෙණිය.

    චිත්‍රය - වසන්ත විජයානන්ද ඒකනායක

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture