lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Wednesday, November 20, 2019

    පෘතුගීසීන් ලක්‌දිවට

    කෝට්‌ටේ සමයෙහි දී හයවැනි පරාක්‍රමබාහු රජු කල දක්‌නා තිබුණේ පුරාණ සිංහල කීර්ති ප්‍රදීපයේ අවසාන සිළු පමණි. මේ රජුගේ කාලයේ දී ලංකාව යළිත් වරක්‌ ඒකීය රාජ්‍යයක්‌ විය. එම කාලයේදී ලංකාව නානා අයුරින් අසල්වැසි ජාතීන්ගේ සම්මානයට ද පාත්‍රවිය. විජය නගරයේ අධිපතියකු විසින් කුරුඳු තොගයක්‌ රැගෙන ගිය සිංහල නැවක්‌ අල්ලා ගන්නා ලද අවස්‌ථාවේ පරාක්‍රමබාහු රජු විසින් නගරයේ නැව් තොට වූ ආද්‍රියම්පේට්‌ටයට පහර දෙන්නට සේනාවක්‌ යවා එම අධිපතියාට දඬුවම් කරමින් තම බලය පෙන්විය. මෙසේ මෙම රජු රටේ අභ්‍යන්තර කටයුතුවලදී මෙන්ම බාහිර කටයුතුවලදී ද ස්‌වකීය ආධිපත්‍යය පවත්වා ගන්නා ලදී. එහෙත් ඔහුගේ ඇවෑමෙන් උදාවූයේ අභාග්‍ය දශාවකි.

    නිරිත දිගෙහි වූ කෝට්‌ටේ රාජ්‍යය පිහිටියේ වී ගොවිතැනට කිසිසේත් සුදුසු නොවූ ප්‍රදේශයකය. එහෙයින් එම රාජ්‍යයේ පුරුෂ බලය එනම් යුද්ධවාදී ජාතික ආපදාවන්හිදී හෝ රටේ දියුණුව සඳහා කෙරෙන ව්‍යාපාරයන්හිදී හෝ පිහිට විය හැකි ජනයාගේ ප්‍රමාණය හා බල පුළුවන්කම අනුරාධපුර කාලයේදී හෝ පොලොන්නරු කාලයේදී පැවැති තරම් යෑයි මොහොතකටවත් සිතිය නොහැකිය. කෝට්‌ටේ රාජධානියට ආදායම ලැබුණේ විදේශීය වෙළෙඳාමෙනි. ඊට පෙර පැවති රාජ්‍යයන්ට මෙන් ආහාර සඳහා කෙරෙන ගොවිතැනින් නොවේ.

    කෝට්‌ටේ රාජ්‍යයට ආදායම ලැබුණු ප්‍රධාන ද්‍රව්‍ය නම් කුරුඳු, මැණික්‌, පුවක්‌ හා ගම්මිරිස්‌ය. එම නිසා කෝට්‌ටේ රාජ්‍යයෙහි නැව්තොට වූ කොළොම්තොට විදේශීයන්ගේ බලපුළුවන්කම හා ඕනෑ එපාකම් ප්‍රමුඛ ලෙස පැවති නගරයකි.

    උඩරට රාජ්‍යය ද ආර්ථික අතින් දුර්වල විය. ගම්පොළ, බදුල්ල ආදී නගරයන්හි විසූ සුළු ප්‍රදේශාධිපතීන් අතරේ නිරන්තරයෙන් ඇතිවූ කලහ හේතු කොට ගෙන රටේ දියුණුව පිණිස කටයුතු වූ විධි විධාන අතුරුදන් විය. අරගල නිසා රටවැසියන් අතර ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් කෘෂිකර්මය පිණිස ඇතිවූ ධෛර්යද ක්‍රමයෙන් හීනවිය. වැව් අමුණු බැඳවීම හා පිළිසකර කරවීම නිසි පරිදි සිදුනොවුණි.

    යාපනය පිහිටා ඇත්තේ අර්ධද්වීපය මැදිකොටගෙනය. දහඩිය මහන්සියෙන් හා වෑයමින් දිවා රෑ වැඩ කිරීමෙන් මෙහි වාසය කළ ජනයා වුවමනා තරම් ආහාර සපයා ගන්නා ලදී. වන්නිය වනාන්තර ප්‍රදේශයක්‌ විය. මේ නිසා ක්‍රි. ව. 1500 වන විට ලංකාව දේශපාලනයෙන් හා ආර්ථික තත්ත්වයෙන් අතිශය පරිහානි අවධියක පිහිටා තිබුණි.

    මෙම අවදිය වන විට මුස්‌ලිම් හා අරාබි වෙළෙඳුන්ට අයත් නැව් පෘතුගීසීන් විසින් කොල්ලකන්නට වන්න. එබැවින් ඔවුහු පෘතුගීසීන්ට අසු නොවී යනු පිණිස සිරිත් මාර්ගයෙන් වෙන්ව මාලදිවයින අතරෙන් යාත්‍රා කළහ. මේ සමයේ දී ගෝවේ ආණ්‌ඩුකාරධුරයෙහි නියුක්‌තව සිටි දොන් µ්‍රeන්සිස්‌කු ද අල්මේදා නම් අධිපති තැන මේ බැව් දැන මුස්‌ලිම් ජනයාගේ වෙළෙ¹මට බාධා පමුණුවන්නට ස්‌වකීය පුත්‍ර වූ දොන් ලොරැන්සෝ ද අල්මේදා නම් නාවික සෙනවියා නැව් නවයක්‌ සහිත යුධ කණ්‌ඩායමකින් යුක්‌තව 1505 ක්‌ පෙබරවාරි මස 27 වැනි දින ගෝවෙන් පිටත්ව මාලදිවයින බලා යාත්‍රා කළේය.

    මුස්‌ලිම් මිනිසුන්ගේ නැව් ලුහුබැඳ යන අරමුණින් පිටත් වූ ලොරෙන්සෝ ද අල්මේදාගේ නැව් කණ්‌ඩායම චණ්‌ඩ මාරුතයකට අසුව ගසාගෙන ගොස්‌ ගාල්ල වරායට ළඟාවිය. මෙහිදී නැව්වලට වුවමනා සෑහෙන පමණ දිය හා දරත් සපයාගෙන එතැනින් පිටත්ව යාත්‍රා කොට ක්‍රි. ව. 1505 නොවැම්බර් මස 15 දින කොළඹට ඉතා සමීපව නැංගුරම් ලා ගත්තේය.

    මීට ඉහත නොදුටු විරූ මේ ප්‍රතිකාල් නම් වූ සුදු මනුෂ්‍යයන්ගේ දැකීම සිංහල මිනිසුන්ට මහත් විශ්මිත කරුණක්‌ වූයේය. එබැවින් මොවුන්ගේ පැමිණීම ගැන එවකට කෝට්‌ටේ රජකළ අටවැනි පැරකුම්බා රජුට සැළ කළහ.

    එවිගසම රජ තෙමේ ඇමැති මණ්‌ඩලය රැස්‌කරවා මොවුන් හා යුද්ධ කරමුද, නැතහොත් සමගි සම්පන්න වෙමුද විමසූ විට ඒ ගැන නිශ්චයකට පැමිණීමට නොහැකිව පෘතුගීසින්ගේ තත්ත්වය දැන ගැනීමට රිසිව සභාවේ සිටි තියුණු බුද්ධි සම්පන්න චක්‍රායුද්ධ නම් සෙනෙවියා වෙස්‌වලා කොළඹට යවන ලදී.

    චක්‍රායුද්ධ සෙනෙවියා ප්‍රතිකාලුන්ගේ සන්නාහ සන්නද්ධභාවය හා සංග්‍රාමික ශුරත්වය උපකල්පනය කොට ඔවුන් හා සටනට අපොහොසත් බව පිළිබඳ පූර්ව නිගමනයන්ට බැස සමගියෙන් කල්යෑවීම මැනවැයි රජුහට අවවාද කළේය. එවිට රජ තෙමේ කොළොම්තොටින් ප්‍රතිකාලුන්ට කවර දෙයක්‌ වුවමනාදැයි විමසන ලෙස දූතයන් යවන ලදී.

    රජුගේ පණිවුඩකරුවන් විසින් කෝට්‌ටේ යාහැකි කෙලින්පාර සඟවා සිංහල රජු පිටිසර බද දුර පළාතක වාසය කරන බව හැඟවීම සඳහා ප්‍රතිකාල් තැනට අවබෝධ කරනු පිණිස දෙපැයකින් පමණ යැමට හැකි වූ එම ගමන තෙදිනක්‌ වනතුරු කඳු හෙල් නිම්න භූමි ගංගා ඒ දඬු ආදී දුර්ග මාර්ග පසු කරමින් නුවරට පැමිණවූහ. ගමනාරම්භයට ප්‍රථමයෙන් කරන ලද අණ පරිදි වරින් වර නැව්වලින් තබන ලද වෙඩි ශබ්ද ඇසීමෙන් තමා ගමන් කරන දුර ප්‍රමාණය දැන ප්‍රතිකාල් නියෝජිත තැනට පණිවුඩකරුවන්ගේ කපටි ක්‍රියාව මනාව තේරුම් ගිය නමුත් ඔහු සිනාමුසු මුහුණින් යුක්‌තව රටතොට කිසි හසරක්‌ නොදත්ත හැකියාව පිරිසට හැඟවීය. පරංගියා කෝට්‌ටේට ගියා වගෙයි යන පිරුළ සිංහලයන් අතරේ ව්‍යවහාරයට පැමිණියේ මේ නිසාය.

    රජ තෙමේ ප්‍රතිකාල් නියෝජිත තැන කැඳවනු ලැබූ නමුත් තමා ඉදිරියට නොකැඳවා ඇමැතියන්ගේ මාර්ගයෙන් සාකච්ඡා කරන ලදී. ප්‍රතිකාලුන්ගේ අරමුණ සමගියෙන් වෙළෙඳ ගනුදෙනු කිරීම බවත් එසේම මිත්‍රත්වයෙන් ක්‍රියා කිරීමට එකඟ වන්නේ නම් එය ස්‌ථිර කිරීමේ ලකුණක්‌ වශයෙන් ප්‍රතිකාල් රජුට ඒ බව දැන්විය යුතු බවත් ප්‍රතිකාල් රජුගෙන්ද සිංහල රජුට තුටු පඬුරු එවනු ලබන බවත් ප්‍රතිකාල් වන අපි මුහුදෙහි බලපෑමට සමථයෝ බැවින් ලංකාවේ මුහුදු තෙර පිහිටි තොටමුණවල් පරසතුරන්ගෙන් ආරක්‌ෂාකර දීමට සහතික වන බවත්, ලංකාවේ උපදින ද්‍රව්‍ය කලින් නියමකර ගනු ලබන ආකාරයට මිලදී ගැනීමත් යුරෝපයෙන් ගෙනෙන භාණ්‌ඩ මෙරට අලෙවි කරනු පිණිස ගබඩා කිරීමට වෙළෙඳ ගබඩා සහ ඒවා ආරක්‌ෂා සංවිධානය පිණිස බලකොටුවක්‌ ගොඩනඟාලීම අවශ්‍ය බවත් නියෝජිත තැන කියා සිටියේය.

    මීට රජු හා ඇමැති මණ්‌ඩලයද එකඟ වූයෙන් නියෝජිත තැන නැවට ගොස්‌ ඒ බැව් නාවික සෙනවියාට දැන්වූයේය. හෙතෙම සිය අදහස්‌ මුදුන්පත් වූ බැව් දැන සමාදානය ස්‌ථිර කිරීමේ සතුටට ලක්‌රජුට ආචාර වශයෙන් කාල තුවක්‌කු වෙඩි ගණනක්‌ තැබීමට නියම කළේය.

    පසුව දින කීපයකට පසුව ලොරෙන්සෝ ද අල්මේදා ස්‌ථීර සමාදාන ගිවිසුමකට බැඳෙනු පිණිස විශේෂ තානාපතියකු සහ තවත් ප්‍රතිකාල් කීප දෙනෙකුත් සමඟ රජු හමුවිය. මේ වාරයේදීද පළමු පරිද්දෙන් සිංහල මාර්ග දේශකයන් විසින් තානාපති තැන වන පර්වත දුර්ග අතරෙන් කෝට්‌ටේ රජු වෙත කැඳවා ගෙන යන ලද්දේය.

    ලක්‌රජු විසින් ප්‍රතිකාල් දේශයේ රජුට වාර්ෂිකව කුරුඳු බාර් හාරසියයක්‌ දීමට ද ඒ පිණිස ප්‍රතිකාල් රජු මුහුදුබඩ තොටමුණවල් පරසතුරු වියවුල්වලින් තොරව ආරක්‌ෂා කර දෙන හැටියටද ගිවිසුම්ගත රාජ සන්දේශය ලියන ලද ස්‌වර්ණමය වූ පත්‍රය ප්‍රදාන කළේය.

    *එස්‌. ඩී. කන්නන්ගර

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture