lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Tuesday, December 24, 2019

    ස්‌ත්‍රීන්ට ම ආවේණික වූ දිග්ගෙයි නර්තනය

    ඉපැරණි සිංහල නර්තනය වූ කලී පුරුෂයින්ට ම පමණක්‌ ආවේණික වූවකි. වර්තමානයේ ස්‌ත්‍රීහු ද ප්‍රමුඛත්වයේ ලා ගැනුණ ද එය අතීතයේ ස්‌ත්‍රීන්ට අතිශයින් ම අකැප විය. එය කෙතරම් දුරට බලපැවැත් වූයේ ද යත් නර්තනයේ දී මතු නොව කෝලම් සහ නාඩගම් වැනි ජන නාට්‍ය ආශ්‍රිත ස්‌ත්‍රී චරිත පවා නිරූපණය කළේ පිරිමින් ම විසිනි. එහෙත් ස්‌ත්‍රීන්ට ම පමණක්‌ ආවේණික ලංකාවේ එකම නර්තන ක්‍රමය වූයේ දිග්ගෙයි නර්තනය යි. සබරගමු මහ සමන් දේවාලයේ වසර සත්සියයක්‌ පමණ අඛණ්‌ඩව පවත්වාගෙන එන ලද මෙම චාරිත්‍ර ක්‍රමය අවසන් වරට එහි රඟ දක්‌වා තිබුණේ ක්‍රි.ව 1948 දීය. එම නෘත්‍යාංගනාවෝ බ්‍රාහ්මණරාල කාව්‍ය මලවරන්නැහැලාගේ නම් වූ පෙළපත් නාමය දැරූ යථෝක්‌ත අංගනාවෝ රත්නපුර, ඕපනායක, හුණුවල විසූ නෝනාහාමි, රම්මල්හාමි සහ ඩිංගි§ මැණිකේ යන හුණුවල මාණික්‍යමහගේලා වෙති.

    දෙවොලේ ආරම්භය

    සබරගමු මහ සමන් දේවාලය දඹදෙණි රාජ්‍ය කළාවූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් (ක්‍රි(ව( 1226-71) කරවන ලද්දකි. ඔහුගේ අමාත්‍යවරයකු වූ ආර්යකාමදේව සත් සියයක්‌ සෙනඟ සමඟ රත්නපුරයේ මැණික්‌ කැණීමට පැමිණි කල මැණික්‌ ලැබුණහොත් තෙමහල් දෙවොලක්‌ තනවා සමන් දෙවිඳුට පුදන බවට බාරහාර වී තිබිණි. ආර්යකාමදේව සිතූ පරිදි මැණික්‌ ලැබුණ හෙයින් ඒ බව රජුට දන්වා රජුගේ පූර්ණ අනුමැතියෙන් සමන් වෙහෙරට යාබද ව සමන් දෙවොල නිර්මාණය කළ බව සමන් සිරිත නම් වූ කාව්‍ය සංග්‍රහයේ සඳහන් වේ. සීතාවක යුගය එළැඹෙත් ම එම දේවාල පරිශ්‍රයේ ශෛලමය පුරාවස්‌තු විනාශ කළ පෘතුගීසීහු තම බළකොටු එහි ඉදි කර ගත්හ. පෘතුගීසි බලය බිඳී ගිය කල දෙවැනි රාජසිංහ රජු විසින් එම බළකොටුව මත සමන් දෙවොල යළි ගොඩනගන ලදී. එය වර්තමාන මහ සමන් දේවාලය යි.

    සමන් පෙරහැර

    මහා පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි(ව 1153 - 1186 දී කරවන ලද ශ්‍රී පාද සමන් දේවාලයට දෙවැනි පැරකුම්බා රජු සර්වාංග ලක්‍ෂණයෙන් යුක්‌ත සමන් දෙවි රුවක්‌ කරවා එය මහත් පෙරහැරින් වැඩමවූ බවත් එය පසුකාලීනව මහ සමන් දේවාලයට වැඩමවා පෙරහැර පැවැත්වූ බවත් සපරගමු දර්ශන කෘතිය පෙන්වා දෙයි. දඹදෙණි යුගයේ සිට සීතාවක යුගයේ අවසානය තෙක්‌ විවිධ බාධක මැද මහ සමන් දේවාල පෙරහැර පවත්වා තිබේ.

    කෝට්‌ටේ රාජධානිය බිඳ වැටීමත් සමඟ සීතාවක රජ වූ මායාදුන්නේ රජු මහ සමන් දේවාල පෙරහැර අවුරුදු පතා පවත්වාගෙන ආවේය. එකල සබරගමුවේ සඟවා තිබූ දළදා වහන්සේ සමන් දෙවොලට වැඩමවා මහත් හරසරින් පෙරහැර සිදු කළ බවත් එය පළමුවැනි රාජසිංහ රජු එකොළොස්‌ වසරක්‌ අඛණ්‌ඩව පැවැත්වූ බවත් සපරගමු දර්ශන කෘතිය පෙන්වා දෙයි. සමන් දෙවියන්ගේ ආයුධාභරණ වඩමවන වර්තමාන මහ සමන් දේවාල පෙරහැරේ දී දළදා කර`ඩුවේ ආකෘතියක්‌ වැඩම කරවීම ඉහත කී ඉපැරණි සිරිත අනුව යැමක්‌ බව පෙනේ.

    දිග්ගෙය

    ලාංකේය දෙවොල් නිර්මාණයේ දී දිග්ගෙය නමින් විශේෂ මණ්‌ඩපයක්‌ සැකසීම පුරාණ දෙවොල් වාස්‌තු ශිල්පයේ අන්තර්ගත ලක්‍ෂණයකි. දේවාලයේ වෙනත් ස්‌ථානවලට වඩා දිගින් සහ පළලින් විශාල මණ්‌ඩපය දිග්ගෙය යි. දෙවියන්ට භක්‌ති ප්‍රණාම දක්‌වනු වස්‌ නර්තන, ගායන, වාදන ඉදිරිපත් කිරීමේ දිග්ගෙය, රඟමඬලක්‌ ලෙස අතීතයේ භාවිතය ට ගැනිණි. සබරගමුව මහ සමන් දේවාල උඩමළුවේ මණ්‌ඩපයට පිවිසෙන පියගැටපෙළ නැංග කළ පළමුව හමුවන ශාන්ති මණ්‌ඩපය පසු කළ විට දැක ගත හැකි දිගින් හා පළලින් විශාල වූ මණ්‌ඩපය දිග්ගෙය නම් වේ. එම ස්‌ථානයේ ඉදිරිපත් කළ නර්තනය දිග්ගෙයි නර්තනය, දිග්ගෙයි නැටුම ලෙස හැඳින්විණි. ලංකාවේ ප්‍රධාන දේවාල ආශ්‍රිත ව දිග්ගෙයි නර්තන ශෛලිය පැවති බවට සාධක හමුවේ. අතීතයේ දෙවුන්දර මහ දේවාලයේත්, බළන්ගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේත්, බළන්ගොඩ සොරගුණ දේවාලයේත් දිග්ගෙයි නර්තනය පවත්වා තිබේ.

    දිග්ගෙයි නර්තන ශෛලිය

    භක්‌තිය පෙරදැරි කරගෙන දෙවියන් විෂයෙහි දේව ගීතිකා, ප්‍රශස්‌ති කාව්‍ය ගයමින් ස්‌ත්‍රීන් විසින් ම පමණක්‌ පවත්වන ලද දිග්ගෙයි නර්තනය භාරතීය දේවදාසී නර්තන ක්‍රමයේ ආභාසයෙන් නිර්මාණය වූ බව බොහෝ විචාරකයින්ගේ පිළිගැනීම වේ. අතීතයේ වාර්ෂික පෙරහැර මංගල්ලයේ හා දිය කැපීමේ චාරිත්‍රයේ දී මූලිකත්වය හෙබවූයේ රාජ්‍ය පාලකයා විසිනි. රජවරුන්ගේ අන්තඃපුර ස්‌ත්‍රීන් නළු නාටිකාංගනාවන් ලෙස පෙරහැර අලංකරණයට යොදා ගැනීම රාජ්‍ය පාලකයෝ සිරිතක්‌ කොට ගත්හ. පෙරහැරට සහභාගී වූ රජුගේ විඩාව සංසිඳවීමත්, සරාගී හැඟීම් උද්දීපනය හා අභිමානය වර්ණනා කිරීමත් ප්‍රශස්‌ති ගැයූ නෘත්‍යාංගනාවන්ගේ කාර්යය විය. එම නාටිකාංගනාවෝ යටි කයට දුහුල් වස්‌ත්‍ර ඇඟලා උඩුකය නග්නව (නිරුවත්ව) අනුරාගී හැඟීම් දනවන අයුරින් නර්තන ඉදිරිපත් කරන්නට යෙදුණ බවට එහි භාවිත ගීත සාහිත්‍යයෙන් අනාවරණය වේ. රජුගේ ඇවෑමෙන් පසුකාලීන ව දේවාලයේ රැඟීමට නිලතල ලද ස්‌ත්‍රීහු මන්තහැට්‌ටය සහ ඔසරියෙන් සැරසී රංගනයේ නිරත වූ බව දිග්ගෙයි ගීත සාහිත්‍යයෙහි දැක්‌වේ.

    සිහළ නරනිඳු කලෙහි පැවතුණ දිග්ගෙ නැටුමද       ගරුලෙසින්
    එකල පරසිදු නෘත්‍යාංගන මැණිකෙවරු මාණික්‍ය               නන්
    ඇඳල ඔසරිය මන්ත හැට්‌ටය රන්මාල බැඳ                 සුරඟනන්
    වැඳලා බැතියෙන් සමන් දෙවොලේ දිග්ගේ නැටු අපි කුලඟනන්

    සමන් දෙවොල දෙවැනි වරට ප්‍රතිසංස්‌කරණය කරවන ලද කෝට්‌ටේ සවැනි පරාක්‍රමබාහු රජු එහි නෘත්‍ය, ගීත, වාද්‍ය කළ උදවියට නිලතල හා නින්දගම් ලබා දුන් බව සිරිපැරකුම් රජුගේ සෙල්ලිපියක සඳහන් වන්නේ පහත පරිදි ය.

    Ñශ්‍රී බුද්ධ වර්ෂයෙන් එක්‌දහස්‌ නමසිය අටපනස්‌ අවුරුද්දක්‌ පිරුණු සඳ නෘත්‍ය, ගීත, වාද්‍ය තේවා කිරීමට වාද්‍ය කාරයන් ද නෘත්‍යාංගනාවන් ද යන මේ සියලු ව්‍යවස්‌ථා නිමකර ...." යනාදී වශයෙන් වූ එම විස්‌තරය දිග්ගෙයි ගීත සාහිත්‍යයේ ද දැක්‌වේ. (ඥානවිමල හිමි, කිරිඇල්ලේ, (1967), සපරගමු දර්ශන, රත්නපුර, 88-90 පිටුව)

    බුදුවසින් එක්‌දහස්‌ නමසිය අටපනස්‌ වසරේ            සොඳා
    සිරිවඩන පුර කිරුළ ලත්නෙක සවෙනි පැරකුම්     නරනිඳා
    තුටු සිතින තෝරා දෙවෙනි පෙළ දිග්ගෙ නැටුමට  ගත් එදා
    රජු විසින් දුන් නමද ගම ඇත පවතින තුරු             ඉරසඳා

    සිරි පැරකුම් රජුගේ සෙල්ලිපියේ අන්තර්ගතය පරිදි ම ශ්‍රී බුද්ධ වර්ෂ 1958 දී දිග්ගෙයි නර්තනය කළ පෙළපත්වල උදවියට තිරසාර වශයෙන් නිල නාම හා ගම්බිම් ඉර සඳ පවතිනාතුරු භුක්‌ති විඳීම ට ලබා දුන් බව ඉහත දිග්ගෙයි නැටීමේ කවියෙන් ද පැහැදිලි වේ.

    අතීතයේ පෙරහැර චාරිත්‍ර හමාරයේ දී නාටිකාංගනාවෝ ප්‍රශස්‌ති කාව්‍ය ගයමින් රැඟුම් දක්‌වා රජු පිනවන්නට යෙදුණහ. පසුකාලීනව එම ස්‌ත්‍රීන්ට නිලතල හා ගම්බිම් ලබාදී රජතුමාගේ ඇවෑමෙන් පසුව සමන් දෙවියන්ට භක්‌තියෙන් එම කාව්‍ය රංගන ඉදිරිපත් කරන ලෙස රජු විසින් ප්‍රකාශ කරන ලද බව ජනප්‍රවාදයේ පවතී. එම ප්‍රකාශය සඳහන් වන දිග්ගෙයි කවියක්‌ පහත දැක්‌වේ.

    බුදු වසින් එක්‌ දහස්‌ නමසිය අටපනස්‌ වසරෙහි සිටා
    දිවෙල් ගම්වර නිලනාමලත් අංගනෝ මාණික්‍ය ටා
    තුටුසිතින දී පඬුරු පකුඩම් රැගෙන අඟනනි මතු වටා
    බැතිසිතින් රඟ දෙවන් නිතියෙන් මහිමි ලක්‌ෂමණන් හටා

    පෘතුගිසීන්ගෙන් විනාශ වූ දෙවොල යළි ගොඩ නැඟූ සීතාවක දෙවැනි රාජසිංහ රජු එහි වතාවත් හා නිලතල නැවත ප්‍රතිස්‌ථාපනය කිරීමේ දී දිග්ගෙයි නර්තනයට ද මූලිකත්වය දී තිබේ. ඒ බව දිග්ගෙයි ගීත සාහිත්‍යයේ දැක්‌වේ.

    නවදෙන පඩිවරුන් මලවර උන්නැහැ එක්‌ක
    එගොසින රාජසිරි නිරිඳුන් බැහැ දැක්‌ක
    විගසිනන මැණිකෙවරු නම් වන මා නික්‌ක
    නළඟන රුවද රජසිහ සිරිතෙහි දැක්‌ක

    මැණිකෙවරුද දිග්ගෙයි නැටුව එම පෙළේ
    මැණිකෙවරුන් හටදුන් මාණික්‍ය නම් නිලේ
    නොමැකෙන ලෙස රජසිහ රජු ලිව්ව මෙ දෙවොලේ
    පැරණි සිරිත විය රජ සිහ සිහළ රජ පෙළේ

    දිග්ගෙයි නර්තනය හා බැඳි නිලතල සහ පරම්පරා

    දිග්ගෙයි ගීත අයත් පුස්‌කොළ අත්පිටපත් හා මුඛ පරම්පරාගත ස්‌මෘතිය, අත්දැකීම් බහුල පුද්ගලයකු වනුයේ දැනට වසර එකොළහකට ඉහත දී මිය ගිය තණ්‌ඩල් රාලගේ නිමලරත්න මහතාය. මොහුගේ පිය පාර්ශ්වය තණ්‌ඩල් නිලය දැරූ අතර මව් පාර්ශ්වය දිග්ගෙයි නර්තනය කළ හුණුවල පරම්පරාව වේ. අප විසින් මෙහි සඳහන් කරන ලද සියලු කවි ඔහුගේ පුස්‌කොළ අත්පිටපතින් හා මුඛ පරම්පරාවෙන් උපුටාගත් සාහිත්‍යය වේ.

    දිග්ගෙයි නිලතල.....

    දිග්ගෙයි චාරිත්‍ර පැවැත්වූ ප්‍රවේණිගත ප්‍රධාන නිල තුනකි. ඒවා මාණික්‍ය නිලේ, කවි නිලේ හා දවුල් නිලේ වශයෙනි. මාණික්‍ය නිලය හිමි පරම්පරා සතරකි. ඒවා එගොඩ මාණික්‍ය මහගේ පරපුර, ගනේගොඩ මාණික්‍ය මහගේ පරපුර, හුණුවල මාණික්‍ය මහගේ පරපුර හා සපරගමුවේ මාණික්‍ය මහගේ පරපුර යනුවෙනි. මෙම පරම්පරා මාණික්‍ය මහගේ යන විශේෂණයෙන් හඳුන්වා තිබේ. ඊට හේතුව දිගින් හා පළලින් විශාල වූ මහ ගේ ලෙස දිග්ගෙය හැඳින්වීමත්, මහ - ගෙයි නැටු මැණිකේ, මාණික්‍ය මහගේ ලෙසින් ව්‍යවහාර වී තිබීමත් ය. ප්‍රධාන පරපුරුවල උදවියට ගෝලයෝ සතර දෙනා බැගින් සොළොසක්‌ ගෝලයෝ විසූහ. ඔවුහු අතුරින් හිරිකන්දෙනියේ ගෝලයා, බෝපැත්තේ ගෝලයා, දික්‌වත්තේ ගෝලයා, මාණික්‍යගේ ගෝලයා, බුලත්වැල්ගොඩ ගෝලයා, තැන්නේමත්තේ ගෝලයා යනාදී අය විශේෂ කොට දැක්‌විය හැකි ය. දිග්ගෙයි නර්තනයට කවි ගායනා කළ කවිනිලය හිමි ප්‍රධාන පරම්පරා දිඹුල්වල කාව්‍ය නිලය, හුණුවල කාව්‍ය නිලය, කනත්තේ සහ එගොඩවියන්වත්තේ කාව්‍ය නිලය යනාදී වශයෙනි. දවුල් නිලය, කවිකාරගේ පරම්පරාවයි. දිග්ගෙයි නර්තනයට දවුල් වාදනය කර ඇත්තේ මේ පරම්පරාවේ උදවිය පමණි. අවසාන වාදකයෝ, කවිකාරගේ කළු අප්පු සහ හුරතල්හාමි වූහ. මෙම දවුල් වාද්‍ය නිලය දරන්නා, මොට්‌ටුකාරයා යන විශේෂ නාමයකින් හඳුන්වා තිබේ.

    අතීතයේ සබරගමු මහ සමන් දේවාලයේ දිග්ගෙයි නර්තනය පවත්වන ලද අවස්‌ථා රාශියකි. ඒවා නම්, ඉල්මහ කාර්තික මංගල්‍යයට පෙර දවසේ හැන්දෑවේ, දුරුතුමහේ අලුත් සහල් මංගල්‍යයට පෙර දවසේ හැන්දෑවේ, බක්‌මහේ අවුරුදු මංගල්‍යයට කලින් දවසේ හැන්දෑවේ, කුඹල් පෙරහැර වීදි බහින්නට පෙර දවසේ, ඇසළ මහ පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීමට පෙර දවසේ, දෙවේලේ පෙරහැර වීථි සංචාරය කිරීමට පෙර දවසේ හැන්දෑවේ, මහ පෙරහැර අවසන් දින රාත්‍රියේ, දියකපන දිනයේ දහවල් සහ සවස්‌ වරුවේ, දිග්ගෙයි තේවාව සහ දිග්ගේ නර්තනය සිදු කර තිබේ. දේවාල ආශ්‍රයෙන් පරිබාහිරව ක්‍රි.ව 1840-1887 කාලයේ දී මඩුවන්වෙල, පැල්මඩුල්ල, එක්‌නැළිගොඩ යන ප්‍රධාන වලව්වල විවාහ මංගල උත්සව සඳහා දිග්ගෙයි නර්තනය ඉදිරිපත් කළ බව ජනප්‍රවාදයෙහි පවතී.

    දිග්ගෙයි නර්තනයේ අනුපිළිවෙළ සහ ගීත සාහිත්‍යය

    නර්තනය ආරම්භයට ප්‍රථම තෙරුවන්ට නමස්‌කාර කිරීම චිරාගත සිරිත විය.

    තොස්‌වා වෙසතුරු වැනි රජුං දන් දී නොයෙක්‌ අලි ඇතුන්
    ලස්‌වා රතය ද සහ අසුන් දන් දෙමින් දීලා නොයෙක්‌ සැම සිතින්
    ලස්‌වා සමුණුට එදරුවන් දන් දෙමින් දීලා නොයෙක්‌ සම්පතුන්
    පස්‌වා දහසක්‌ පවතිනා මුණි රජුං විස්‌වාසයෙන් මං වඳින්

    තෙරුවන් නමස්‌කාරය ශ්‍රී සම්බුද්ධ සුබෝධ බෝධ තබ වාදි ප්‍රභූතිල නේක නත්ත විධි සේ දිසේ ඤාණංඤාණ විලෝක ලෝක ගුරු ලෝකවිලෝචන පත්තරි ඤාණ භවේති භවේ රාගම් බුද්ධ මුධාර ධාර ධර භීජ නක්‌ෂණද මෝහ ජාල ජෛතේ හතේ මාමං බුද්ධසුපාද පාද සිරි ගෝතම වන්දමි බුද්ධරාජ සරණේ සරණේ සුමන සමන් දේව වන්දනය

    සුරලෝක උත්පාද කල වාසු දේවං
    නරලෝක විද්වංසනේ රක්‌ත තේජං
    සුර සාසනේ ශක්‍ර දෙව්රාජ කිරණං
    මිණි පබ්බතේ සුමන දෙව්රාජ වන්දිතං
    දේව සිංහාසනෙන් අවසර ගැනීම
    නාටකාරි ජයෝ මධ්‍යයේ - හීතකාරී සංයුතං
    ශුද්ධිකාරි හෘද දක්‌ෂි - දේව සිංහාසනේ නමෝ
    ඊශ්වර දෙවිගෙන් අවසර ගැනීම
    සර්වප්‍ර ශාස්‌ත්‍රා ක්‍රත ඊශ්වරා නී
    සුරනෘත්‍ය ගීතා සුර සුන්දරානී
    පාදක්‍ෂ මූලේ සුර අංගනානී
    හරසස්‌තෘදෝසා ජයමංගලානී
    භූමි දේවියගෙන් අවසර ගැනීම
    සමත්තලෝක ජනනි - සව_සම්පත් ප්‍රධායිනී
    නමාමිත්‍යාං භූ දේවි - පාදගාතත් නමස්‌තතේ
    කරණීයමෙත්ත සුත්‍රය ගැයීම
    මලවර පෙළපත විස්‌තර කිරීම
    නයාට ගුරුළා සමාන වෙයි -
    මලවරපෙළපත - කවියට පෙර සිටම පැවත එයි
    රාගතාල පැරණි කීම මයි - ඒ අසන සැමට - කන්වල මීපැණි හෙළුE ලෙසයි
    තුංගභේරි පටා මද්දලිං - මෙඅපරංග පෑවෙ -
    දිග්ගෙයි නැටු රුවැති නළඟනං
    පුෂ්පමාලි පාදවර්ණ යෙං - මිණිමුතු ගෙතු ලෙස -
    විශ්වනාට කාදි මේ රැඟුම්
    පොරණ සිටිය සිහල රජවරුන් - මෙ අප තෝරා ගත්තේ -
    හොඳම අය බැවින්
    භරණ පැළඳි උසස්‌ කුලඟනන් -
    රජවරු ඉදිරියේ නැටු -
    තාල ලාක්‌ෂ්‍යාදී ගී රැඟුම්

    රාජසිංහ වර්ණනාව, ප්‍රශස්‌ති, ඵල්ලව පද, පැරකුම්බා සිරිත, මහ හටන, රාජසිංහ සිරිත, පවන, ශෘංගාරය, ශෘංගාරාලංකාරය, ශ්‍රී නාමය, සීතාවක හටන, කුදිරඩි වන්නම, නරියා කුඩාසිංහ වෙස්‌ගත්ත කථාව, සියබස්‌මල්දම, සිංහවල්ලි කථාව, සුරභාවතිය යනාදී කාව්‍යය දිග්ගේ නර්තනය සඳහා ගායනය කර තිබෙන බව කිව හැකිය. දැනට වසර 53 කට පමණ ඉහතදී පැවතුණු මෙම චාරිත්‍ර පිළිවෙළ මේ වන විට සබරගමු මහ සමන් දේවාලයෙන් මුළුමනින් ම අභාවයට ගොසිනි.

    කේ.එම්. සමන් කුමාරතුංග

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture