lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Sunday, December 8, 2019

    දෙපැත්තේ පොල් අතු කඩ තිබුණු කොළඹ කොටුවේ මහ වීදිය

    කොළඹ වෙළෙඳ නගරයක් වූයේ අද ඊයෙක නම් නොවේ. පෘතුගීසින් අහම්බෙන් හෝ ලංකාවට ගොඩබසිද්දී පවා කොළඹ වෙළෙඳ නගරයක් වී හමාරය. කොළඹ වරායට බට ලොරෙන්සෝ ද අල්මේදා මුලින් ම දකින දර්ශන අතර වැදගත් ප්‍රධාන දර්ශනයක් වන්නේ වෙළෙඳාමය.

    බෝට්ටුවලින් ගෙනෙන ලද වෙළෙඳ භාණ්ඩ බංගසාල විදියේ පොල් අතු ගබඩාවල ගබඩා කරන අයුරු ඔහුගේ දුරදක්න නිරීක්ෂණයට හසුවිය.

    කුඩා නැව්වලින් කොළොම් තොටට ආ අල්මේදා එදා දුටුවේ බෝට්ටුවලින් වෙළෙඳ භාණ්ඩ ගොඩබිමට ගෙනෙන ආකාරයත්, ඒවා පොල් අතු ගබඩාවල තැන්පත් කරන ආකාරයත් ය.

    එකල මෙකල වෙළෙඳාමේ සිදුවී ඇති වෙනස්කම් රාශියකි. එහෙත් එදා මෙන් අද ද ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වන්නේ කොළඹ ය. එහෙත් එහි අතීත වෙළ හෙළඳාම ගැන සොයා යෑම අපූරු වෙළෙඳ චාරිකාවකි.

    වර්ෂ 1799 සිට 1804 දක්වා පස් වසරක් කොළඹ බ්‍රිතාන්‍ය බළකොටුවේ සේනාංකයෙහි දේවගැති ධූරය දරමින් ලංකාවේ වාසය කළ ජේම්ස් කෝඩිනර් දේවගැතිතුමාගේ A Description of Ceylon  (“ලංකාව ගැන වර්ණනාවක්” – පරිවර්තනය නිස්සංක පෙරේරා) කෘතියෙහි එන ඇතැම් විස්තරයකින් කොළඹ වෙළෙඳාම ගැන බොහෝ කරුණු දැනගත හැකිය.

    එහි එන විස්තරයට අනුව කඩවීදිය මුලින්ම පිහිටා තිබුණේ මහ වීදියේය. මේ වීදියේ දෙපස පොල් අතු කූඩාරම් බඳු කඩ දෙපේළියක් විය. ජනයා නිරන්තරයෙන් එහි ගැවසී ගත්හ. එබැවිනි දවස පුරා මේ වීදිය කලබලකාරී බවක් ඉසුලූයේ. එය කෙතරම් කලබලකාරී වුවාද කියතොත් වෙනත් අවශ්‍යතා සඳහා හෝ මේ වීදියෙන් කෙනෙකුට එහා මෙහා යෑම පවා දුෂ්කර විය. අශ්ව කරත්තවලින් හා අකීකරු අශ්වයන්ගෙන් විවිධ අවස්ථාවල වූ කරදර මේ කලබලකාරී බවෙහි අප්‍රසන්නතාව වැඩිකරලූ යේ ය. එබැවිනි කඩ වීදිය මහා වීදියෙන් ඉවත් කෙරෙනුයේ.




    හල්ෆ්ට්ස්ඩෝෆ් නැමැති ලන්දේසි ආණ්ඩුකාරවරයකු කලකට ඉහත පදිංචි වී සිටි නිවහනක් පිටුපස පිහිටි පෙදෙසකට ගෙන ගිය මේ සාප්පු සංකීර්ණය ඉදිවුණේ ආණ්ඩුවේ වියදමිනි. මේ සාප්පු සංකීර්ණය පිළිබඳ කෝඩිනර් දේවගැතිවරයා දක්වන විස්තරය එකල වෙළෙඳාමත් කොළඹ වැසියා ගෙවූ දිවි පෙවෙතත් පිළිබඳ අපූරු චිත්‍රයක් මවන්නේය.




    ”....පිළිවෙළක් ඇතිව, සැලසුම්සහගතව එහි ඉදි කරන ලද වෙළෙඳ සල් ස්වදේශිකයන්ට බද්දට දෙන ලද්දේ ය. ගල්බදාම බිත්තිත්, පේළියට ඉදිකළ කුලුනුත් සහිතව වීදි දෙපසින් සමාන්තරව ගොඩ නඟා උළු සෙවිළි කළ ඒ නව වෙළෙඳ සල්වල දිවා කාලය තිස්සේත්, රෑ බෝ වී සෑහෙන වේලාවක් ගත වන තුරුත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේ මෙන්ම සුඛෝපභෝගී බඩු භාණ්ඩ වෙළෙඳාම් කෙරෙයි.

    මේ ස්ථානය වඩාත් පහසු වූත්, තත්ත්වයෙන් උසස් වූත් කඩපළක් වුවද කොළඹ වෙළෙන්දන් එහි ගියේ තදබල අකමැත්තෙන් ය. ගැනුම්කරුවන් රාශියක් තදබද වී සිටින වෙළෙඳපළකදී වඩා සරුසාර වෙළෙඳාමක් කරගත හැකි යැයි ඔවුන් සිතා සිටීම ද තර්කානුකූලය...” (ලංකාව ගැන වර්ණනාවක්)

    කෙසේ වුවද ඔවුන්ගේ අකමැත්ත විරෝධය දලුලා වැඩීමට අවස්ථා උදා නොවිණි. මන්දයත් මේ කඩ වීදියෙහි වෙළෙඳාම් වූ කිසිදු භාණ්ඩයක් වෙනත් ස්ථානයක විකිණීම සම්පූර්ණයෙන් ම තහනම් විය. ආණ්ඩුවේ මේ තහනම, වෙළෙන්දන්ගේ විරෝධතා ගින්න නිවාලූ කදිම වතුර පහරක් විය. සහල් හෝ කුකුළෙකු මිලදී ගැනීමට පෙරට වඩා සැතපුම් භාගයක් ඇවිදගෙන යාම හැරෙන්නට පාරිභෝගිකයාට ද මතු වූ වෙනත් ගැටලුවක් නැති විය.

    මීගමුවේ සිට කොළඹට ගෙනා වෙළෙඳ භාණ්ඩ ගැන ද කෝඩිනර් සටහනක් තබා තිබේ.

    ”.... ග්‍රෑන්ඩ්පාස් අසලදී ඇළෙහි ඉස්මත්ත, මීගමුවේ සිට කරවල, වියළි ඉස්සන් සහ කූනිස්සන්, දර ඇතුළු තවත් බඩු භාණ්ඩ පටවාගෙන ආ පැතැලි පත්ල සහිත කුඩා යාත්‍රාවලින් නිරතුරුවම ඇහිරී පවතියි.”

    ජේම්ස් කෝඩිනර් දේවගැතිවරයා ලංකාවට පැමිණ වසර සියයකට (1895) පමණ පසුය මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් ලංකාවට පැමිණෙන්නේ. එකල වරායට පැමිණෙන නැවකට වහා ගොඩවෙන්නෝ ස්වදේශීය වෙළෙන්දෝ ය. ගයිගර් පවසා ඇති අන්දමට මේ වෙළෙන්දන් ගෙනා බඩු භාණ්ඩ විවිධ මාදිලියේ ඒවා විය. ඇත් දළ, කළුවර ලීයෙන් කපන ලද විවිධ රූප, හා නිර්මාණ, රන් ආභරණ, මැණික් ගල්, කුඩා ගිරවුන් හා වෙරළබඩ වැවෙන පළතුරු වර්ග ඒ අතර ප්‍රධාන තැනක් ඉසිලීය.

    ස්වදේශීය වෙළෙන්දන් මේ භාණ්ඩ විකුණුවේ සුද්දන්ට ය. නැතහොත් විදේශිකයන්ට ය. ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව ඔවුන්ට ගැළපෙන දේ ගෙන යන්නට ඔව්හු පරිස්සම් වූහ. එහෙත් විදේශිකයන්ට මෙන්ම ස්වදේශිකයන්ට ද ගැළපෙන වෙළෙඳ ද්‍රව්‍ය නගරයේ විය. මේ අතරින් ගයිගර්ට අප්‍රසන්නම වූ වෙළෙඳ භාණ්ඩයක් විය. ඒ බුලත් විටය. සිංහලයන්ගේ බුලත්විට කෑම ඔහුට මෙන්ම විදේශිකයන්ට ද නුරුස්සන දෙයක් විය. එහෙත් සිංහලුන් බෙහෙවින් රුචිකත්වය දක්වන “බුලත් විට” නගරය පුරා ඕනෑම තැනක දක්නට ලැබුණ බව ඔහු පවසයි. කොටුව, පිටකොටුව ඇතුළු කොළඹ ඇතැම් කඩ වීදියක බුලත්විට තවමත් හිඟ නොවන්නේය.

    කොළඹ – ගාලු පාර දෙපස පැල්පත් නිවැසියෝ ද සිය නිවෙස් ඉදිරියේ මිදුල හෙවත් විවෘත බිම්කඩ වෙළහෙළඳාම පිණිස යොදා ගත්හ. එහි අලෙවි වූයේ ඇතැම් විට ඔවුන්ගේ ම අත්කම් නිෂ්පාදනයකි. නැතිනම් ගෙවතු බෝගයකි. සහල්, කුළු බඩු වර්ග, කරවල වර්ග, දුම්කොළ ආදිය ඒ විකුණුම් භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ඉසිලීය.

    විවිධාකාර වූ භාණ්ඩ පිරවූ වට්ටි පෙට්ටි හිසින් ගෙන ගමන් කරන කාන්තාවන් එකල සුලභ දර්ශනයක් විය. ඒවායෙහි ඇතැමෙක පලතුරුය, එළවුළුය නැතිනම් රස කැවිලිය. එවැනි ජංගම වෙළෙන්දියෝ මෙන්ම වෙළෙන්දෝ එකල කොළඹට හිඟ නොවූහ. බොමයි මොටයි වෙළෙන්දාගේ සිට නා නා ප්‍රකාර වෙළෙන්දෝ එකල කොළඹ නගරය පුරා සැරි සැරූහ.

    ලන්දේසි යුගයේ කොළඹ වෙළෙඳාම ගැන කියවන අපට ලැබෙන තොරතුරු මීට වෙනස්ය. එකල කොළඹ පළමුවැනි වෙළෙඳ පළ පිහිටියේ පිටකොටුවේ සුසාන භූමිය අසලය. ඒ වෙළෙඳපළ පිළිබඳ 17 වැනි ශත වර්ෂයේ කොළඹ විසූ බෙල්ජියානු වෛද්‍යවරයකු වූ එගිඩියස් ඩාල්මන්ස් විසින් කර ඇති සඳහනක් මෙලෙස ය.

    ”තාප්පය දිගට කටුමැටි ගසා, පිදුරු සෙවිලි කළ කුඩා පැල්පත් සාදා ඇත්තේ ය. එහි සිංහලුන්ට වුවමනා කරන දාසයන්, ඇඳුම් පැලඳුම් රෙදි පිළි, නූල්, බුලත්, අරක්කු ආදී වශයෙන් කුමක් හෝ සෑම දිනෙකම වෙළෙඳාම සඳහා තිබෙනු දක්නා ලැබේ. මෙය එළවුළු ආදිය පමණක් නොව උවමනා කරන සෑම දෙයක්ම පාහේ විකිණීමට ඇති කඩමණ්ඩියක් මෙන් ක්‍රියා කරයි. ...” (කොළඹ ශත සංවත්සර පුස්තකය)

    මේ සටහන අනුව පෙනී යන්නේ එකල කඩවලින් දාසයන් ද මිලදී ගැනීමට හැකි බව නොවේද? එය මුසාවක් විය නොහැක්කේ ගයිගර් පැමිණි යුගයේ විදේශිකයන්ට සේවකයන් සපයන සමාගමක් කොළඹ තිබූ බවට වරෙක ඔහු තබන සටහනකිනි.

    එදා දාසයන් සැපයූ කඩපිල, සමාගම වෙනුවට මෙකල “ඒජන්සි” තිබේ. දරුවන්, රෝගීන්, වැඩිහිටියන් බලාගැනීමට මෙන්ම නිවෙස් හා ගෙවතු බලාගැනීමට අවශ්‍ය මෙහෙකරුවන් මෙකල සොයා දෙන්නේ ඒ ‘ඒජන්සි’ හරහාය.

    සී. බෲක් ඉල්යට් කේ.සී. වසර හතළිහක් මෙරට විසූ ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහු සිය The Real Ceylon  (අතීත ලංකා - පරිවර්තනය සිසිල් රුද්‍රිගු) නම් කෘතියේ ‘කොළඹ’ ගැන කර ඇති සඳහන මෙසේය.

    ”අව්‍යාජ ලෙස මෙලෙස ලියමි. කොළඹ යනු ලංකාවේ එකම වෙළෙඳ හා දේශපාලන නගරයයි. එහෙත් සැබෑ ලංකාව ඇත්තේ ගම්බද ජන ජීවිතය තුළයි.”...

    ඔහු මේ සටහන තබන්නේ ඔහුගේ කෘතියේ පෙරවදනෙහිය. කොළඹ ඉතිහාසය නමින් ලියන තුන්වැනි පරිච්ඡේදයේ දී කොළඹ වෙළෙඳාම ගැන ද තවත් තොරතුරු ඔහු අපට පවසයි.

    ”කොළඹ සාප්පු සවාරි යාම ගැනත් යමක් කිව යුතුය. සෑම සැබෑ ගැහැනියක් ම තුළ පවත්නා ආදරණීය අපේක්ෂාවක් නොවේද සාප්පු යාම? ජැටියෙන් ගොඩබට වහාම ඔබට අවශ්‍ය සියලු දෙයම පේන දුර ප්‍රමාණයක් තුළදී ලබා ගත හැකිය. සිංහල භාෂාවෙන් කියනවා නම් එය ‘හූවේ’ දුරකි.”

    ඔහු ඊළඟට පවසන්නේ කොළඹ තිබූ ලොකුම සාප්පු අතර පෙරමුණේ සිටි වෙළෙඳ සමාගම් ගැනය. ඔහු ඒ තැන දෙන්නේ කාගිල්ස් හා මිලර්ස් සමාගමටය. ඊළඟට චැතැම් වීදියේ පිහිටි පෙරදිග භාණ්ඩ විකුණන අපූරු සාප්පු ගැනය. ඔරලෝසු කණුව ළඟ ඇති අපූරු නිවහනක් වැනි ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය සාප්පුවක් ගැන ඔහු පවසයි.

    ”එය සිංහල භාෂාවට නැඟුවොත් ලංකා ගෘහ කර්මාන්ත අංශය (Ceylon Cottage Industries Depot) ඉතා ඉහළ මට්ටමින් හා අනර්ඝව නිපදවන ලද ලංකා හස්ත කර්මාන්ත නිෂ්පාදන මෙහි බහුලව තිබේ.”

    මෙහි භාණ්ඩවල මිල ගණන් සාධාරණ බව කියන බෲක් පවසා සිටින්නේ, එහි භාණ්ඩ දෙස් විදෙස් ඕනෑම මිතුරකුට තෑගි දීමට යෝග්‍ය වටිනා ඒවා බවය. දරුවන්ට සෙල්ලමට අවැසි සෙල්ලම් අලි ඇතුන් විවිධ වර්ණයෙන් හා වර්ගයෙන් මිලදී ගත හැකි බවය ඔහු පවසන්නේ.

    කොළඹට එන්නෙකුට වරෙක ඔහු දෙන උපදෙස මෙබඳුය.

    ”... කුලී රථයක් හෝ රික්ෂෝ රථයක් ගෙන කෙළින් වීදිය නැරඹීමට යන්න. එහි ඉන්දියානු සාප්පු බොහෝ තිබේ. ඉන් එකක් අබියස නවතා සාප්පුවට ගොඩ වෙන්න. ඉන්දියානු සේද රෙදි හා සාරි වර්ග ඔබට නානා මාදිලියෙන් දැකගත හැකිය. පවුම් දෙකේ සිට පවුම් සියය දක්වා මිල ගණන්වලට සාරි ඇඳුම් පැලඳුම් මෙහි තිබේ. ... මිල ගණන් ද වැඩි නැත. රෙදි වැඩ දමන කාමරයක් ඔබට බැලීමට අවශ්‍යද? ඉල්ලා සිටි විටෙක ඊට අවසර ලැබේ. ළපටි තරුණ පිරිමි ළමයින් මෙන්ම උපැස් දමාගත් මහල්ලන් ද පුදුම වේගයකින් සිය අත්කම්වල විස්කම් දක්වන ලීලාව ඔබට දැකගත හැකිය.”

    විසිවන සියවසේ මුල් දශක කීපය තුළ ඔහු දකින කොළඹ එබඳුය.

    කොළඹ වෙළෙඳාම ගැන කී නොකී තොරතුරු බොහෝය. යම් යම් වෙනස්කම්වලට බඳුන් වෙමින් ඇතැම් දේ පුරුදු පරිදි විකිණෙන අතර කොළඹ වෙළෙඳ පළට ලෝක වෙළෙඳ පළෙන් මෙකල ලැබෙන දේ බොහෝය. එකල ගයිගර්ලාට නැවේදී පවා මිලදී ගැනීමට හැකි වූයේ අපේ පලතුරුය. අපේ අත්කම්ය.

    මෙකල වීදි දෙපස ගොඩ ගසා ඇත්තේ ඔවුන්ගේ පලතුරුය. ඔවුන්ගේ නිෂ්පාදනය. අපි අපේ දේ අපට ම විකුණා ගනු වෙනුවට ඉන්දියානුවන්ගේ චීනුන්ගේ ජපනුන්ගේ බඩු භාණ්ඩ අලෙවි කරමින් අලෙවි වෙමින් සිටිමු.

    පෘතුගීසි යුගයේ කොළඹට අවශ්‍ය දේ මෙරටින්ම රැගෙන ආවේ කැලණි ගඟ හරහාය. අපේ යුගයේ කොළඹටත් රටටත් අවශ්‍ය දේ රැගෙන එන්නේ කොළඹ වරායට සිව්දෙසින් එන නැව් මඟිනි.

    සුමේධා නවරත්න

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture