lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Wednesday, January 8, 2020

    මෙරට ආදිවාසීහු සිංහලයෝ ය - නලින් ද සිල්වා

    දශක දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ අප කියා ඇති කරුණක්‌ නම් මෙරට ප්‍රධාන ම ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන නොදීම බව ය. එය ආර්ථිකයෙහි ද දේශපාලනයෙහි ද දැකගත හැකි ය. අද සිංහල බෞද්ධ නොවන, බොහෝ විට සිංහල බෞද්ධ විරෝධී සංවිධානවලට රටේ නීතිය කැඩීමේ දී ප්‍රශ්න මතු නො වේ. ඒ සංවිධාන ඊනියා මානව අයිතිවාසිකම් මුවාවෙන් බටහිරයන්ගේ ආධාරයෙන් රැකෙයි. එහි දී බටහිර රාජ්‍ය සංවිධානවල ද සහාය ඔවුන්ට ලැබෙයි. එහෙත් ඒ සියල්ල පිටුපස ඇත්තේ එංගලන්තය හා ඇමරිකාව ප්‍රධාන බටහිර ක්‍රිස්‌තියානි රටවල් ය, යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ය. මෙරට දී සිංහල බෞද්ධ සංස්‌කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ආධාරය මුස්‌ලිම් සංස්‌කෘතියට ද ලැබෙයි. එපමණක්‌ නොව කාලයක්‌ තිස්‌සේ වැදි ජනතාව ද සිංහල බෞද්ධ සංස්‌කෘතියට විරුද්ධ ව යොදා ගැනෙති. වැදි ජනතාව මෙරට ආදිවාසීන් ය යනුවෙන් මතයක්‌ රටෙහි ඇතිකර තිබෙනවා පමණක්‌ නොව වැදි ජනතාව ලෝකයේ පැවැත්වෙන විවිධ ආදිවාසී සම්මන්ත්‍රණවලට රැගෙන යන්නෝ ද වෙති. ඒ මදිවාට අද වැදි ජනතාවගේ ජාතික හැඳුනුම් පතෙහි ආදිවාසී යනුවෙන් සඳහන් කිරීමට ද ඉල්ලීමක්‌ වෙයි.

    බටහිරයන්ගේ ආදිවාසී ව්‍යාපෘතියට එක්‌ අතකින් සිංහලයන් ද වගකිව යුතු ය. සිංහලයන්ගේ ඉතිහාසය විජය කුමරුට සීමා කිරීම නිසා අදත් බොහෝ සිංහලයන්ට තමන්ට ඉන් ඔබ්බට යන ඉතිහාසයක්‌ ඇති බව නො වැටහෙයි. විජය පැමිණීමට පෙර මෙරට තිබූ සංස්‌කෘතිය මහාවංශය විසින් වුවමනාවෙන් ම අමතක කෙරී ඇත. පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් විසින් උපුටා පළකෙරී ඇති වරිග පූර්ණිකාවේ කොටස්‌ අනුවත් මෑතක දී කුරගල හා වෙනත් ප්‍රදේශවල කරන ලද කැණීම් අනුවත් පැහැදිලිවන කරුණ නම් විජය යනු මුහුදු කොල්ලකරුවකු බවත් ඔහු පැමිණෙන විටත් මෙරට බුදුදහම හා බෞද්ධ සංස්‌කෘතියක්‌ තිබූ බවත් ය. වරිග පූර්ණිකාවට අනුව කුවේණි නමින් හැඳින්වෙන පාලිකාවගේ මව රත්නවලී නමින් ද ප්‍රසිද්ධියට පත් වී ඇති රහත් මෙහෙණින් වහන්සේ නමකි. ඒ මෙහෙණින් වහන්සේගේ ආවාසය තිබූ තැන අද රුවන්වැලි සෑය දක්‌නට ඇත. වරිග පූර්ණිකාවට අනුව මහාවංශයෙහි කුවේණි නමින් හැඳින්වෙන පාලිකාව විජය හා පිරිසට සමාව දී ඇත. එහෙත් ඇය ඔහු හා විවාහ වූ බවක්‌ සඳහන් නො වේ. (යාපනයට පැමිණි ආර්ය චක්‍රවර්තීන් ද මුහුදු කොල්ලකරුවන් බව අමතක නොකළ යුතු ය.) මහාවංශය අනුව පමණක්‌ නිගමනයකට පැමිණියත් වැදි ජනතාව බිහි වී ඇත්තේ විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙනි. මහාවංශය අනුව විජයට පෙර මෙරට මිනිස්‌ වාසස්‌ථාන තිබී නැත. වැදි ජනතාව හා සිංහලයන් බිහි වී ඇත්තේ එක ම කාල පරිච්ඡෙදයක ය. එසේ නම් මහාවංශය අනුව වුව ද වැදි ජනතාව මෙරට ආදිවාසීන් යෑයි කිසිසේත් කිවහැකි නො වේ.

    කෙසේ වුවත් මෙරට ඉතිහාසයෙන් යගු කෞරාණ (යක්‌ෂ ගෝත්‍රිකයන් - ඉංගිරිසි ට්‍රයිබ් නොවන බව අනුකාරක නිවට පුස්‌සන්ගේ දැනගැනීම සඳහා අවධාරණය කළ යුතු ය) හා නාග ආදී වෙනත් ජනයා (හෙළයන්) අකාමකා දැමීමටත් සිංහල ඉතිහාසය විජයගෙන් ඇරඹි බවටත් සිංහලයන් බෞද්ධ වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීමෙන් පසුව බවටත් කතාවක්‌ ගොතා ඇති බව පැහැදිලි ය. ඒ කතාව ගෙතීම තුන්වැනි සියවසේ පමණ අරඹන ලද බවත් හතරවැනි සියවසේ දීපවංශය ලියන විට යම් ප්‍රමාණයකට තහවුරු වී ඇති බවත් පස්‌වැනි සියවසේ මහාවංශය ලියන විට මුළුමනින් ම තහවුරු වී ඇති බවත් සිතාගත හැකි ය. මහාවංශය අවසන් වන්නේ බු ව 847 දී හෙවත් ක්‍රි ව 304 දී මහසෙන් රජු මිය යැමත් සමග ය. මහසෙන් රජුට යගු කෞරාණ සම්භවයක්‌ තිබී ඇති අතර එතුමා මහාවිහාරයට එරෙහි ව යම් අරගලයක ද යෙදී ඇත. එහෙත් දඹදිවෙන් පැමිණි පිරිස්‌ අවසානයේ දී ඔහු පරදවා ජයගෙන ඇත. ඒ සමග මෙරට ඉතිහාසය වෙනස්‌ කෙරී ඇත. මහාවංශය පසු කලෙක ලියෑවුණ ද එය මහසෙන් රජු "දමනය" කිරීමෙන් හා ඔහුගේ ඇවෑමෙන් අවසන් කිරීමෙන් පැහැදිලි වනුයේ ඉන්පසු තාවකාලික ව සීගිරි කාශ්‍යප වැනි යගු කෞරාණ සම්භවයක්‌ ඇති රජවරුන් රජවුව ද දඹදිවෙන් පැමිණි අයට මෙරට යගු කෞරාණ ඉතිහාසය ඉතිහාසයෙන් අතුගා දැමීමට හැකි වී තිබෙන බව ය. එහි දී මහින්දාගමනයට පෙර තිබූ බෞද්ධ සංස්‌කෘතිය ගැන සඳහන් කිරීම ද යටපත් කෙරී ඇත.

    එහෙත් යගු කෞරාණ සංස්‌කෘතිය සිංහලයන් අතර නොනැසී පවතින බව අපට දැකගත හැකි ය. යගු කෞරාණයන් ඉතා සහනශීලී මනුෂ්‍යයන් බව ද බුදුන් වහන්සේ අනුව යමින් අන්‍ය මතවලට ගරුකළ බව ද පැහැදිලි ය. පණ්‌ඩුකාභය රජු විවිධ විශ්වාස දැරූ අයට අනුරාධපුර නගර සැලැස්‌මට අනුව ඒ ඒ ප්‍රදේශ වෙන්කර දීමෙන් ද ඒ බව පැහැදිලි වෙයි. එහෙත් වෙනත් මත දරන ලෝකයක එලෙස රාජ්‍යයක්‌ පවත්වාගෙන යැම අසීරු ය. දඹදිවෙන් මෙරටට පැමිණි සංස්‌කෘතියෙන් සිදු වී ඇත්තේ හෙළයන්ට යම් ස්‌ථාවරත්වයක්‌ ලබා දීම ය. අශෝක බුදුදහම (විභ-ජවාදය, ධර්මවාදය, ක්‍ෂණවාදය ආදිය ඇතුළත් ථෙරවාදය) හා අදාළ බෞද්ධ සංස්‌කෘතිය හෙළයන් සිංහලයන් බවට පත්කිරීමෙහි ලා කාර්යභාරයක්‌ ඉටුකර ඇත. සිංහල සංස්‌කෘතිය යනු හෙළ සංස්‌කෘතියට දඹදිවෙන් පැමිණි සංස්‌කෘතිය (විජයගේ වෛදික සංස්‌කෘතිය හා ථෙරවාද සංස්‌කෘතිය) අවශෝෂණය කිරීමෙන් ලැබුණකි. හෙළයන් සිංහලයන් බවට පත්කිරීමෙහි ලා මහාවංශය මෙන් ම බුද්ධඝෝෂ හිමියන් ඇතුළු ආන්ද්‍ර ප්‍රදේශ ථෙරවාද භික්‍ෂූන් වහන්සේ ද විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත. හෙළයන් සිංහලයන් නොවන්නට මෙරට මුස්‌ලිම් හෝ කතෝලික හෝ රටක්‌ බවට පත් වී ඉතිහාසය විජයගෙන් නොව වත්හිමි කුමරුගෙන් හෝ දොන් ජුවන් ධර්මපාලගෙන් හෝ ඇරඹීමට ඉඩ තිබිණි. සිංහලයන්ගේ හෙළ ගතිය මතුකරමින් ඔවුන් මුස්‌ලිමුන්ට තම ආගම ඇදහීමට කිසිම බාධාවකින් තොරව ඉඩ දී ඇති අතර පසුව මුස්‌ලිමුන් කතෝලිකයන්ගෙන් ආරක්‍ෂා කිරීමට ද කටයුතු කර ඇත. එහෙත් මහාවංශය අනුව යමින් ථෙරවාදය (බුදුදහම) ආරක්‍ෂා කිරීම සඳහා වත්හිමි කුමරු සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ද සිංහල බෞද්ධයන් පසුබට වී නැත. සිංහල රජවරුන් කතෝලික ආගම ව්‍යාප්ත කිරීමෙහි ලා ද සහාය වී ඇත්තේ හෙළ බෞද්ධ සංස්‌කෘතියට අනුව ය. එහෙත් මහාවංශය අනුව යමින් පෘතුගීසින්ට ද පසුව ලන්දේසීන්ට ද අවසානයේ දී ඉංගිරිසින්ට ද විරුද්ධ ව සිංහලයෝ ථෙරවාදය රැකගැනීම සඳහා සටන් වැදුණහ. මෙරට ආදිවාසීහු හෙළයෝ ය. ඔවුහු බුදුන් වහන්සේ ජීවමානව වැඩවිසූ සමයෙහි ම හෙළ බෞද්ධ වූහ. වෛදිකයන්ගේ ආගමනයෙන් හා අශෝක (තුන්වැනි සංගායනාවේ) බෞද්ධ සංස්‌කෘතියෙහි බුදුදහම හඳුන්වාදීමෙන් පසුව ඔවුහු සිංහල බෞද්ධයෝ වුහ. සිංහල බෞද්ධ වීම නිසා ම සිංහලයෝ පොදුවේ ගත්කල මුස්‌ලිම් හෝ ක්‍රිස්‌තියානි හෝ නොවූහ. හෙළයන්ගේ සිට සිංහල බෞද්ධ වීම දක්‌වා ඇත්තේ අඛණ්‌ඩ ඉතිහාසයකි.

    2014/08/17 - නලින් ද සිල්වා

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture