lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Wednesday, February 5, 2020

    1956 සිංහල භාෂා පනත

     එස්‌. ඒ. දුලාංජලී ධනවර්ධන
     පේරාදෙණිය විශ්වවිද්‍යාලය


    එක්‌ භාෂාවක්‌ සම්මත ලෙස පිළිගන්නවා නම් නිසැකවම රටවල් දෙකක්‌ බිහිවනු ඇත. භාෂා දෙකම පිළිගන්නේ නම් එක්‌සත් එක්‌ රටක්‌ ඉදිවනු ඇත.
                                      - කොල්වින් ආර් ද සිල්වා

    1956 පෙරළිය නමින් හැඳින්වෙන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ පුරෝගාමියා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී බණ්‌ඩාරනායකයන්ය. ක්‍රි.ව. 1815 බ්‍රිතාන්‍යයන් මෙරට යටත් කිරීමෙන් අනතුරුව ශත වර්ෂ එක හමාරක පමණ කාලයකට ආසන්න ඔවුන්ගේ යටත්විජිත පාලන සමය තුළ සිංහල භාෂාව යටපත්ව පැවති අතර ඉංගී්‍රසි භාෂාව මෙරට ප්‍රධාන භාෂාව විය. 1833 කෝල්බෲක්‌ කැමරන් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය තුළින් හඳුන්වාදුන් නවාංගයක්‌ වූයේ ඉංගී්‍රසි අධ්‍යාපන ක්‍රමයක්‌ ඇති කිරීමයි. එමඟින් මෙරට ග්‍රාමීය වශයෙන් පැවති පිරිවෙන් අධ්‍යාපනය මෙන්ම සිංහල භාෂාව යටපත් වූ අතර ඉංගී්‍රසි අධ්‍යාපනය ලැබීම මෙරට සිsවිල් සේවයට ඇතුළත්වීමේ පහසුම ක්‍රමය විය. මේ අනුව මෙරට මධ්‍යම පංතිය ඉංගී්‍රසි භාෂාව උගත් යුරෝපීය සිරිත්විරිත් අනුකරණය කළ කළු සුද්දන් විය. මෙරට ඉංගී්‍රසි භාෂාව රජ කළ සමය තුළ උසස්‌ විද්‍යාලයක සිංහල වචනයක්‌ කතා කිරීම ද දඩ ගසන ලද වරදක්‌ විය. එමඟින් වසර දහස්‌ ගණනක සිට මෙරට මවු භාෂාව ලෙස පැවති සිංහල භාෂාව පමණක්‌ නොව සිංහලයන් ද යටපත් විය. මෙම බ්‍රිතාන්‍යය ආධිපත්‍යයට යටත්ව සිටි සිංහල ජනතාවට සිංහලයන් වශයෙන් යළිත් නැඟීසිටීමට සිංහල බෞද්ධ ජාතිකවාදී ප්‍රබෝධයක්‌ ඇති කිරීමට බණ්‌ඩාරනායක මහතාගේ සිංහල භාෂා පනත හේතු විය.

     1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වුවද එහි ඉතිහාසය පිළිබඳව විමසා බැලිය යුතුය. එනම් මෙම භාෂා ප්‍රතිපත්තිය ඩොනමෝර් යුගය දක්‌වා ගමන් කරන අතර මේ අනුව වැඩී එමින් පැවති සිංහල ජාතිවාදය 1956 තීව්‍ර වූ බව පැහැදිලිය. එනම් මෙහි පළමුවන යෝජනාව 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් විය. අවිස්‌සාවේල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරඟ කළ පිලිප් ගුණවර්ධන මහතා 1936 ජූලි 23 දින රාජ්‍යය මන්ත්‍රණ සභාවට සිංහල භාෂාව පිළිබඳව පළමු යෝජනාව සිදු කරන ලදි. ස්‌වභාෂාව හෝ ඉංගී්‍රසි හොඳින් නොදන්නා පොලිස්‌ භටයන් හා සාර්ජන්ට්‌වරුන් පොලිසියට කරන පැමිණිලි සටහන් කිරීමේදී කරන වැරදි නිසා සාධාරණය ඉටුවීමට බාධා ඇති වන බැවින් එබඳු යෝජනා ස්‌වභාෂාවෙන්ම සටහන් කළ යුතු බවත් දිවයිනේ නාගරික හා පොලිස්‌ උසාවිවල නඩු ඇසීම් ස්‌වභාෂාවෙන්ම කළ යුතු බවත් පිලිප් ගුණවර්ධන යෝජනා කළේය. මෙම යෝජනාව 1939 පෙබරවාරි 09 දින වැඩි ජන්ද 11න් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ සම්මත වූ අතර මෙමඟින් ප්‍රථමයෙන්ම ස්‌වභාෂාව පිළිබඳ අදහස එනම් සිංහල ජාතිකවාදය සමාජගත විය.

     පළමුවෙන්ම සිංහල භාෂාව පනතක්‌ පිළිබඳ යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් වූයේ 1934 දී බව පැහැදිලිය. 1934 මෙවැනි යෝජනාවක්‌ ඉදිරිපත් වීමට බලපෑ පසුබිම පිළිබඳව විමසා බැලිය යුතුය. එනම් මෙකල සිංහල බෞද්ධ ජනතාව එකතු කිරීමේ අරමුණින් බණ්‌ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් සිංහල මහා සභාව ආරම්භ වී ඇත. 1934 මැයි 19 දින එහි ආරම්භක රැස්‌වීම පවත්වමින් බණ්‌ඩාරනායක මහතා සිංහල ජාතික හැඟීම පිළිබඳව පමණක්‌ නොව භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ඔහු සිය අදහස ප්‍රකාශ කළේය. එනම් මෙරට නියමිත අධ්‍යාපන ක්‍රමයක්‌ නොවීම හේතුවෙන් මිනිසුන් ඔවුනොවුන් සැක කිරීමටත්, ඝාතනය කිරීමටත් උඩරට පහතරට යනුවෙන් වැසියා අතර භේදයක්‌ ඇති වීමටත් හේතු වී තිබෙන බව ප්‍රකාශ කළේය. එතුමාගේ ආරම්භක කථාව තුළ සම්පූර්ණයෙන්ම සිංහල භාෂාව පිළිබඳව ජාතිවාදී හැඟීම් අන්තර්ගත විය. එනම් සිංහල ලේඛකයන් විසින් නිර්මාණය කරන්නා වූ ග්‍රන්ථ හා පරිවර්තන ග්‍රන්ථ ද මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීමට සැලැස්‌විය යුතු බවත් පුළුවන් සෑම අවස්‌ථාවකදීම සිංහල භාෂාවෙන්ම කටයුතු කිරීමට ද පුරුදු කරගත යුතු බවත් සතිපතා හෝ සතියකට දෙවරක්‌ ප්‍රසිද්ධ කරන සිංහල ප්‍රවෘත්ති ප්‍රත්‍රයක්‌ අප්‍රමාදීව ආරම්භ කළ යුතු බවත් සිංහල මහා සභාවේ ආරම්භක කතාව තුළ ඉදිරිපත් කළේය. එමෙන්ම ඒ තුළ බෞද්ධ හැඟීම් උද්දීපනයක්‌ද සිදු විය. එනම් ඉරිදා දින පාසල් ඇති කිරීම, බෞද්ධ ධර්මය ඉගැන්වීමට බෞද්ධ භික්‌ෂූන්ගේ ආධාර ලබා ගනිමින් දිවයිනේ සෑම පන්සලක්‌ම මෙම ව්‍යාපාරයේ මූලස්‌ථානය කර ගත යුතු බව බණ්‌ඩාරනායක මහතාගේ අදහස විය. මේ අනුව සිංහල ජාතික හැඟීම මෙන්ම සිංහල භාෂාව පිළිබඳ හැඟීමක්‌ ද බෞද්ධ ජනතාව අතර උද්දීපනය කිරීමට සිංහල මහා සභාව හේතු වූ බව පැහැදිලිය. මෙම ජාතික හැඟීම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමෙන් එය අණපනතක්‌ කරා 1934 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගමන් කළේය. මේ වන විට ද්‍රවිඩ සංගමය ද ආරම්භ වී අවසන්ය. එබැවින් සංවිධානය වූ සිංහල ජාතියක්‌ එමගින් සියලු ජාතීන් එකමුතු කිරීම බණ්‌ඩාරනායකයන්ගේ ප්‍රතිපත්තිය වුවද සිංහල මහා සභාව තුළ නියෝජනය වූයේ සිංහල බෞද්ධ ජනතාවගේ හැඟීම් පමණි.

     සිංහල මහා සභාව ආරම්භ කිරීමෙන් අනතුරුව සිංහල බෞද්ධ ජාතිවාදී පුවත්පත්a ආරම්භ විය. එනම් සිංහල බෞද්ධයා, ස්‌වදේශ මිත්‍රයා, 1941 සිංහල මහා සභාව හා ස්‌වදේශ මිත්‍රයා පුවත්පත මෙන්ම 1942 සිංහල බලය නම් පුවත්පතක්‌ සමාජ ගත විය. මේ තුළින් තවදුරටත් ජාතිවාදී හැඟීම් පෝෂණය කළ අතර මෙම පසුබිම මත නැවත වරක්‌ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ අණ පනතක්‌ ඡේ. ආර් ජයවර්ධන මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. මේ අනුව සිංහල භාෂා පනතේ දෙවන යෝජනාව 1944 මැයි 24 වැනි දින ඡේ. ආර් ජයවර්ධන මහතා විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදි.

     හැම පාසලකම ඉගැන්වීමේ මාධ්‍යය සිංහල විය යුතුය.

     ආණ්‌ඩුවේ හැම විභාගයකම සිංහල භාෂාව අනිවාර්ය කළ යුතුය.

     රාජ්‍යය මන්ත්‍රණ සභාවේ කටයුතු සිංහල භාෂාවෙන් කිරීමට නීති ඉදිරිපත් කළ යුතුය.

     අනෙක්‌ භාෂාවලින් ඇති වැදගත් පොත් සිංහලයට පරිවර්තනය කිරීම සඳහා කොමිෂන් සභාවක්‌ පත් කළ යුතුය.

     ඉංගී්‍රසියෙන් සිංහලයට පරිවර්තනය වීමේ හැම පියවරක්‌ ගැනම වාර්තා කිරීමට කොමිෂන් සභාවක්‌ පත් කළ යුතුය.

     මෙම යෝජනාවට ඇතුළත් වූයේ සිංහල පමණක්‌ නිසා දෙමළ මන්ත්‍රීවරු මෙයට විරුද්ධ වූ අතර මෙම පනත සංශෝධනය කොට සිංහල හා දෙමළ යන ද්වි භාෂාවන් මෙම යෝජනාවලියට ඇතුළත් කරන ලදි. මෙම යෝජනාව අනුව 1945 සැප්තැම්බර් 20 වැනි දින සිංහල හා දෙමළ රාජ්‍යය භාෂා කිරීමේ කටයුතු ගැන පරීක්‌ෂාකර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභා කාරක සභාවක්‌ පත් කරන ලදි. මෙම කාරක සභාව ස්‌වභාෂාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ ද රජයේ ඒ පිළිබඳ නොසැළකිල්ල මත ස්‌වභාෂාව පිළිබඳ මහජනයාගේ උද්ඝෝෂණය තවදුරටත් තීව්‍ර විය.

     මෙකල වනවිට ව්‍යවස්‌ථාදායක සභාව තුළද මෙම ජාතිවාදී අරගලය තීව්‍ර වෙමින් පැවති අතර 1950 වර්ෂයේදී ජී.ජී පොන්නම්බලම් පනහට පනහේ යෝජනාව ගෙන එමින් සුළු ජාතින්ට සමතැන ලබාදිය යුතු බව ප්‍රකාශ කළේ මෙවැනි පසුබිමක්‌ තුළය. සුළු ජාතීන්ට සමතැන ලබාදිය යුතු බවට කරන ලද මෙම යෝජනාවෙන් සිංහල ජාතීවාදී හැඟීම ද්‍රවිඩ ජනතාවට එරෙහි වෛරයක්‌ නිර්මාණය කරන්නට හේතු විය. ද්‍රවිඩ ජනතාවගේ ගැටලුව නිසි පරිදි තේරුම් නොගත් සිංහල ජාතිවාදී නායකයන්ගේ ක්‍රියා කලාපය මතම උතුරේ වෙනම වර්ගවාදයක්‌ නිර්මාණයවීමටත් එය වර්ගවාදී යුද්ධයක්‌ වීමටත් හේතු විය.

     ජෝන් කොතලාවල මහතා එක්‌සත් ජාතික පක්‌ෂයේ අගමැතිවීමෙන් ලංකාවේ මන්දගාමී තත්ත්වයක්‌ ඇති වූ අතර ස්‌වභාෂාව පිළිබඳ ඔහුගේ ඒකමතික තීරණයක්‌ නොවීය. යාපනයේ කොකුවිල් ග්‍රාමයේ උත්සවයකට සහභාගි වූ ඔහු සිංහල හා දෙමළ භාෂා දෙකටම රාජ්‍ය භාෂා ලෙස සමතැන් දෙමින් ආණ්‌ඩුක්‍රම ව්‍යස්‌ථාව වෙනස්‌ කිරීමට පොරොන්දු වූයේය.මෙම ප්‍රකාශයෙන් වැඩි ජනගහණය වූ සිංහලයෝ මෙයට විරුද්ධ වූහ. සිංහල භාෂා ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙස සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සිංහල ජාතිවාදීන්ගේ අපේක්‌ෂාව විය.

     නමුත් මෙමගින් ද්‍රවිඩ ජනතාව කෙරෙහි කුපිතවී සිටි සිංහල බෞද්ධ ජනතාව ආණ්‌ඩුවිරෝධී ව්‍යාපාරයක්‌ ලෙස සිය භාෂා ප්‍රශ්නය ඉදිරියට ගෙන ගියේය. රට පුරා රැස්‌වීම් නොයෙක්‌ විදියේ උද්ඝෝෂණ පැවැත්වීය. මෙම සිංහල භාෂා සටනේ විශේෂ තැනක්‌ ගත්තේ භික්‌ෂූන් වහන්සේලාය. උන්වහන්සේලා සිංහල හා බෞද්ධ යන හැඟීමට සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට පෙරටුගාමීව කටයුතු කළේය. දිවයින පුරා භික්‌ෂූන් සංවිධානය කළ එක්‌සත් භික්‌ෂු පෙරමුණ කොළඹට දහස්‌ ගණනින් එක්‌වී වීදි සංචාරය කොට උපවාස පැවැත්වූහ. තමන් උපවාස කරන්නේ කුමක්‌ නිසා දැයි විස්‌තර කරමින් පත්‍රිකාවන්ද නිකුත් කරමින් ජාතිවාදී හැඟීම් උද්දීපනය කළේය. සිංහල හා දෙමළ භාෂාව සම තත්වයට ගැනීමට උත්සාහ කළ එක්‌සත් ජාතික පක්‌ෂයට විරුද්ධව ක්‍රියාකරන බවට උන්වහන්සේලා ප්‍රතිඥාවක්‌ ද දුන්නේය. මෙසේ දෙමළ ජනයා වැඩිපුර වෙසෙන පළාත් හැර මුළු රටටම සිංහල පමණක්‌ සඳහා වූ මහා සටනක යුද්ධ භූමියක්‌ විය. මේ අනුව මෙම ප්‍රතිපත්ති මත ජෝන් කොතලාවල මහතා සිංහල හා දෙමළ භාෂා සමානත්වයට ලබා දීමෙන් තමන්ට ජයග්‍රහණය අපේක්‌ෂා කළ නොහැකි බව වටහා ගත්තේය. මේ අනුව ඔහු සිංහල දෙමළ භාෂා දෙකටම සම තැන දෙන බවට සිදු කළ ප්‍රකාශනය වෙනස්‌ කළේය.

     මෙම ක්‍රියාකාරී සංවිධානය මත එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමතිවරුන්ට තමන් කැමති ප්‍රකාශනයක්‌ ජනතාව ඉදිරියේ පැවසීමට ජෝන් කොතලාවල මහතා මේ අවස්‌ථාවේදී ඔවුන්ට අවසර ලබාදුන් අතර මේ මත එකම ආණ්‌ඩුව තුළ ක්‍රියා කරන මැති ඇමතිවරුන් භාෂා ප්‍රශ්නය වෙනුවෙන් ඒකමතික තීරණයක්‌ නොමැති පිරිසක්‌ බවට පත්විය. මේ පසුබිම එක්‌සත් ජාතික පක්‌ෂ විරෝධී සිංහල භාෂා ව්‍යාපාරයක්‌ මෙරට සමාජ ගත කරන්නට හේතු සාධක විය. සිංහල භාෂා ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙස සිංහල පමණක්‌ රාජ්‍යය භාෂාව බවට පත් කිරීම සිංහල ජාතිවාදීන්ගේ අපේක්‌ෂාව විය.

     මෙම අපේක්‌ෂාව වටහාගත් කොතලාවල මහතා සිංහල භාෂාව පමණක්‌ රජයේ භාෂාව බවට පත් කිරීමට යෝජනාවක්‌ කැලණිය සම්මේලනයේදී සම්මත කර ගැනීමෙන් අනතුරුව කොතලාවල මහතා ලංකාවේ තුන්වන පාර්ලිමේන්තු මැතිවරණය ස්‌ථිර ලෙසම ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීමට උපදෙස්‌ දුන්නේය. නමුත් සිංහල භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි ඔහුගේ ඒකමතික තීරණයක්‌ දක්‌නට නොලැබුණ බැවින් ජනතාවගේ ඔහු කෙරෙහි විශ්වාසයක්‌ නොවීය. මෙම භාෂා පනත මෙන්ම 2500වන බුද්ධ ජයන්තිය සැමරීමට සූදානමින් සිටීමෙන් එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණය කිරීමට අපේක්‌ෂාවෙන් සිටියද ඔවුන්ට අත්වූයේ අන්ත පරාජයකි. බණ්‌ඩාරනායක මහතා තම පක්‌ෂයට බලය ලැබුණහොත් පැය 24න් රජයේ භාෂාව ස්‌වභාෂාව බවට පත්කරන බවට මෙම දිනවල ප්‍රකාශ කළේය. සිංහල භාෂාව පමණක්‌ රජයේ භාෂාව බවට පත් කරන බවට පොරොන්දු වී සිටි මහජන එක්‌සත් පෙරමුණ ජයග්‍රහණය කළ අතර එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී බණ්‌ඩාරනායක මහතා අගමැති පදවියට පත් විය. මෙම තත්ත්වය විනිවිද දුටු ඒ. ජේ විල්සන් මහතා බණ්‌ඩාරනායක මහතාගේ මෙම විජයග්‍රහණය හඳුන්වන ලද්දේ දෙපැත්ත ඇවිලෙන විලක්‌කුවක්‌ ලෙසය. එනම් සිංහලය රජ බස කිරීමේ අපේක්‌ෂාවෙන් සිටි පිරිස මෙන්ම පනත ප්‍රමාද කිරීම නිසා ඒ කෙරෙහි අරගල කළ පිරිසද, පනත සම්මතවීමෙන් සොම්නස්‌වන පිරිස මෙන්ම එමගින් පීඩාවට පත්වන ද්‍රවිඩ ජනතාව නිසාය. 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත සම්මත කළේය. සිංහලය රජ බස බවට පත් කළද එමගින් ද්‍රවිඩ ජනතාවගේ දුෂ්කරතාවන්ට මෙම භාෂා ප්‍රශ්නය මගින්ම පිළිතුරු ලබාදීමට බණ්‌ඩාරනායක මහතා අපේක්‌ෂා කළද මෙම ජාතිකවාදී අරගලය හමුවේම තල්දූවේ සෝමාරාම හිමිගේ වෙඩි පහරින් එතුමාගේ ඝාතනය සිදු විය.

     මේ අනුව 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වීම මඟින් මෙරට ජනවාර්ගික අරගලය ජනවාර්ගික යුද්ධයක්‌ කරා ගමන් කළේය. මෙම භාෂා ප්‍රශ්නය විසඳීමට බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම, ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම වැනි පසුකාලීන ගිවිසුම් ඉදිරිපත් වුවද 1972 පළමුවන ජනරජ ව්‍යවස්‌ථාවෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම, බෞද්ධාගම පිළිගැනීම වැනි ප්‍රතිපත්තීන් හමුවේ මෙම අරගලය ජන වාර්ගික යුද්ධයක්‌ කරා ගමන් කළ අතර 1983 කළු ජූලිය එහි ආරම්භක අවස්‌ථාව විය. මේ අනුව 1956 සිංහල භාෂා ප්‍රශ්න යනු මෙරට වර්ධනය වූ සිංහල බෞද්ධ ජාතිකවාදී චින්තනයේ දේශපාලන සම්ප්‍රාප්තිය බව පැහැදිලිය.

    divaina-

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture