lakdiva news,Sri Lanka on the history and culture

sinhala

  • Breaking News

    facebook

    Friday, May 8, 2020

    හෙළ බසට "ෆ" (F)අකුර නිර්මාණය කළ සිංහල මහා ශබ්ද කෝෂයේ ආදි කර්තෘවරයාණෝ

    රථම සිංහල
    ශබ්ද කෝෂයේ මුල් පිටපතලොවෙහි යම් භාෂාවක්‌ සඳහා නව වචන නිර්මාණය කර එක්‌කිරීම අවශ්‍යතාව මත සිදුවීම සාමාන්‍ය සිරිතයි. නමුත් භාෂාවක්‌ සඳහා අභිනවයෙන් වෙනත් අක්‌ෂර නිර්මාණයන් එක්‌කිරීම සිදුවන්නේ නැත. නමුත් සිංහල භාෂාවේ "F" ශබ්දය නැගීමට අක්‌ෂරය නොමැතිවූ නිසා ඒ සඳහා යොදා ගත්තේ සිංහල බසේ "ප" අකුර මත ඉංගී්‍රසි බසේ "F" අකුර රඳවා සකසා ගත් ද්විභාෂා අක්‌ෂර එකතුවක්‌ ලෙස "ෆ" අකුර යොදා ගැනීමයි මෙය විදුහුරු ක්‍රියාවක්‌ නොවන නිසා ඒ සඳහා සුදුසු අක්‌ෂරයක්‌ හඳුන්වා දීම සිදුවූයේ මීට වසර 114 ක්‌ ගෙවුණු වර්ෂ 1896 දෙසැම්බර් මාසයේදීය. ඒ සඳහා ක්‍රියා කළේ බළපිටිය බස්‌නායක වලව්වේ වාසය කළ තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලි තුමන්ය.

    එම අකුර නිර්මාණය වී වසර 114 ක්‌ සපුරන මේ දිනවල එතුමන් පිළිබඳව හැඳින්වීමක්‌ සිදු කිරීම ඉතා වටින්නේ යෑයි මා කල්පනා කළෙමි.

    ජර්මන් ජාතිකයකු වූ විල්හෙල්ම් ගෛගර් පඬිවරයා විසින් මැන්දිස්‌ ගුණසේකර මහතා පිළිබඳ 1897 දී ඔහු විසින් ලියන ලද මාලදිවයින පිළිබඳ ග්‍රන්ථයේ ගෛගර් මෙසේ පවසයි. "ලංකාවේ පමණක්‌ නොව යුරෝපයේවත් භාෂාවන් පිළිබඳ ඒ මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමා තරම් පටුතර බුද්ධිමත් පුද්ගලයෙක්‌ සොයා ගැනීම දුෂ්කරය" යනුවෙනි. මෙවැනි විශාරද භාෂා උගතකු බුද්ධිමතකු වියතකු කීර්මත් මුදලිවරයකු වූ මැන්දිස්‌ ගුණසේකර මහතා වර්ෂ 1860 ජුනි මස 14 වැනි දින එනම් මීට වසර 150 කට ඉහතදී දකුණු සිරිලක ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ බළපිටිය ප්‍රදේශයේදී උපත ලැබුවේය. මෙතුමා කුඩා කල හඳුන්වන ලද්දේ ඒ බ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර යනුවෙනි. දෙමාපියන් වූයේ බළපිටිය බස්‌නායක වලව්වේ විසූ තිරිමාදුර බස්‌තියන් මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමන් සහ ගරුමුණි අසේයා ද සොයිසා මාතාවයි.

    දඹදෙණි යුගයේදී ලක්‌දිව ආක්‍රමණය කිරීමට පැමිණි කේරළ හමුදාවක්‌ සමූල ඝාතනය කොට ජයගෙන කීර්තිය පැතිරවූ පතිරාජදේව අමාත්‍යවරයා විසින් එම යුදබිම ආසන්නයේ ඉදිකළ හමුදා කඳවුරේ සෙබළුන්ගේ බොෘද්ධාගමික වතාවත් සඳහා ඉදිකළ විහාරස්‌ථානය වූ බළපිටියේ ශ්‍රී සුභද්‍රdරාමය පිහිටියේ මෙම බස්‌නායක වලව්ව අසලය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු එම ශ්‍රී ශරීරය දවන්නට යොදාගත් දර සෑයෙහි අඟුරු තැන්පත්කර ලක්‌දිව තැනූ එකම අංගාරක චෛත්‍ය නිර්මාණය කළ මෙම විහාරස්‌ථානය දඹදෙණිය යුගයේ බිහිවූ රාජමහා විහාරයකි.

    පෘතුගීසි ලන්දේසීන්ගේ මුහුදුබඩ ආක්‍රමණවලට ගොදුරුව විනාශවී නටබුන් වී තිබූ මෙම විහාරය වනගතව තිබියදී සොයාගෙන පැමිණි. බෙන්තර ගලපාත විහාර මූලයේ වැඩවිසූ (ගලතුරුමුල) බෙන්තර ධම්මරක්‌�ත හිමියන් විසින් ආරාම බිම අසල තිබූ නා ගසක්‌ ආසන්නයේ පොල්අතු පැලක්‌ අටවාගෙන බෞද්ධ ජනතාවගේ සහ මෙම බස්‌නායක වලව්වේ විසූ සැදැහැවත් බෞද්ධයන්ගේ ආධාර උපකාරයෙන් යළි ගොඩ නැගූ මෙම විහාරයේ එකල වැඩ වාසය කළේ උන්වහන්සේගේ ශිෂ්‍ය බළපිටියේ ශ්‍රී ගුණරතන මාහිමියන්ය. බළපිටියේ ගුණරතන මාහිමියන් වාදීහසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද මාහිමියන්ගේ ප්‍රථම ගුරුවරයාය. ගුණානන්ද මාහිමියන්ගේ එකල බාලම පැවිදි සහෝදර වූ බළපිටියේ පුඤ්ඤසාර හිමියන් මෙම විහාරයේ වැඩ වෙසෙන සමයේ උන්වහන්සේ වෙතින් අධ්‍යාපනය ලද කුඩා ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර ශිෂ්‍යයා පසුව බළපිටිය රන්දොඹේ වෙස්‌ලියන් පාසලෙන්ද දෙවනුව කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබීය. එකල රෝයල් කොලීජිය නමින් හැඳින්වූ එම පාසලේ හැම අංශයෙන්ම දක්‍ෂ ශිෂ්‍යයා වූ ඒ මැන්දිස්‌ ගුණසේකර සිසුවා පාසලෙන් අස්‌වී ගියේ සිය පාසල් අධ්‍යාපනයේ සියලුම විභාගයන් සමත්වී අවසානයක්‌ දකිමිනි.

    පාසල් අධ්‍යාපනයෙන් සමුගෙන ඉංගී්‍රසි ආණ්‌ඩුවේ ලිපිකරු විභාගයට ඉදිරිපත්වූ ගුණසේකර සිසුවා එම විභාගයට පෙනී සිටින විට විභාග ශාලවේ අධිපති පදවිය හෙබවූ ඉංගී්‍රසි ජාතිකයා ගුණසේකර සිසුවා අසලට පැමිණ ඔබත් විභාගයට ලියන්නට පැමිණියේ දැයි විමසීය. "ඔව්" යෑයි පිළිතුරු දුන් විට ඔබට මේ තරම් ලොකු විභාගයකට ලියන්න දැනුම තියෙනවාදැයි විමතියෙන් ඇසීය. එයට ඔහු පිළිතුරු දුන්නේ ලියන්න පුළුවන්ද කියා කියන්නට නම් විභාග ප්‍රශ්න පත්තර බැලිය යුතු බවය. මෙබස්‌ ඇසූ විභාග ශාලාධිපතිවරයා ඔබ මේ විභාගයට ඉදිරිපත්ව සිටින්නේ මේ විභාගයේ තරමවත් නොදැන යෑයි පැවසීය. විභාගයෙන් පසු පැමිණි ප්‍රතිඵල අනුව ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර එම විභාගයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථමයා ලෙස සමත්ව තිබිණි. මේ අනුව වයස අවුරුදු විසිවියේදී කළුතර ඒජන්ත කාර්යාලයේ ලිපිකරුවකු වශයෙන් සේවයට යොමුවූ මෙම තරුණයා රැකියාව සිදු කරන අතරතුරේදී කළුතර නගරය ආසන්නයේ පිහිටි වස්‌කඩුව ගම්මානයේ වැඩවිසූ රාජගුරු වස්‌කඩුවේ සිරි සුභුති මාහිමියන් වෙතට ගොස්‌ උන්වහන්සේ වෙතින් සිංහල, පාලි, සංස්‌කෘත භාෂාත්‍රයන් හදාරන්නට විය.

    පසුව කළුතර ඒජන්ත කාර්යාලයෙන් ඉවත්ව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගිය මෙතුමා ටික කලකින් එයින්ද ඉවත්ව රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක තනතුර උසුලන්නට විය. ඒ අතර ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ ලේඛක මුදල් තනතුරු මෙතුමා විසින් දැරීය. මෙලෙස සිදුකරන සේවය අගය කළ ඉංගී්‍රසි ආණ්‌ඩුව වර්ෂ 1901 දී ඒ මැන්දිස්‌ ගුණසේකර මහතාට "විජය ශ්‍රී වර්ධන" යන ගෞරව නාමය සහිතව මුදලි තනතුරක්‌ද පිරිනමා ගෞරව කළ අතර එයින් පසු වාසල මුදලි තනතුරද ප්‍රදානය කරන්නට යෙදිණි. එකල ඉංගී්‍රසි ආණ්‌ඩුවේ ප්‍රධානියා වී සිටි ආණ්‌ඩුකාර වරයාද ළඟින් ඇසුරු කළ මෙම මුදලිවරයා එයින් පහළ උසස්‌ නිලතල දැරූ සියලු නිලධාරීන්ගේ ගෞරවයට පාත්‍රව කටයුතු කළේය. මෙලෙස ක්‍රියා කළ ඒ මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමන් කිසි විටෙකත් යුරෝපීය ඇඳුම් නොඇන්දේය. බෞද්ධ ආගමික පිළිවෙත් වෙනස්‌ නොකළේය.

    තරුණ වියේදී හල්ජෝති මිසී ද සොයිසා මෙනවිය සමග විවාහ ජීවිතයට පිවිස පිය පදවිය ලැබුවේය. එම දරුවා කීර්ති ඇම්. ගුණසේකර නම් වූ විය. දරුවා කුඩා කාලයේදීම මෑණියෝ මියගිය හෙයින් මුදලිතුමා දෙවැනි වරට විවාහ දිවියට පිවිසියේ ඇයගේ නැගණිය වූ හෙලන් ඇනී. ද සොයිසා මෙනවිය සමගිනි. එම විවාහයෙන්ද පුත් රුවනක්‌ ලැබිණි. ඔහු ආනන්ද ඇම්. ගුණසේකර විය පසු කලෙක ආසියාතික හෝටල් සංස්‌ථාවේ සභාපති පදවිය හෙබවූ ඔහු දේශපාලනයේද යෙදිණි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපති පදවියක්‌ හෙබවූ ආනන්ද ඇම්. ගුණසේකර මහතා කීර්තිමත් සමාජ සේවකයෙක්‌ද විය. මුදලිතුමාගේ එකම දියණිය වූයේ අමිතා සහබන්දු මහත්මියයි.

    භාෂා පරිවර්තක මුදලිවරයකු වශයෙන් සේවය කළ සමයේ මුදලිතුමාගේ භාෂා දැනුම මෙරට සිටි කිසිම උගතකුට දෙවැනි නොවීය. සිංහල පාලි, සංස්‌කෘත, හින්දි, දෙමළ, මැලේ, වංග, ගුජරාටි මරාටි, ප්‍රංශ, ලතින්, ගී්‍රක්‌, ජර්මන්, ස්‌පාඤ්ඤ හා වැදි යන භාෂාවන් කියන්නට, ලියන්නටත් දැනගෙන සිටි මෙම මුදලිතුමන් බදුදහම, අභිධර්මය පිළිබඳ තිබූ දැනුම මහතෙර නමකට දෙවැනි නොවීය. තෙවලා දහම පිළිබඳ නොවලහා ඕනෑම තැනකින් ගෙන දෙසන්නටත්, ලියන්ටත් තිබූ දැනුම පිළිබඳ අවබෝධ වන්නේ එතුමා ශ්‍රී සද්ධර්ම කෝෂය යනුවෙන් ලියන ලද ග්‍රන්ථය කියෑවූ විටය. පිටු දහස්‌ ගණනක්‌ වන මෙම ග්‍රන්ථය වැනි ධර්මය පිළිබඳ කෝෂ ග්‍රන්ථයක්‌ තවත් ලියෑවී නැත.

    ශබ්ද කෝෂයේ ආදි කර්තෘවරයා

    අද මෙරටේ තිබෙන සිංහල ශබ්ද කෝෂය පිළිබඳ කතා කරන විට එහි අවශ්‍යතාව ඉංගී්‍රසි ආණ්‌ඩුවට පෙන්වාදී එය ආරම්භ කළේ මෙතුමාගේ මග පෙන්වීමෙනි. 1923 වසරේදී අංග සම්පූර්ණ සිංහල ශබ්ද කෝෂයක්‌ අප රටට අවශ්‍ය බව පෙන්වා ඉංගී්‍රසි ආණ්‌ඩුවේ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට ලිපියක්‌ ලියන ලද මෙතුමා එම යෝජනාව ආසියාතික සමිතියට ද ඉදිරිපත් කළ හෙයින් 1926 වසරේදී එම ශබ්ද කෝෂයේ කටයුතු ආරම්භ විය. මෙම ශබ්දකෝෂයේ කටයුතුවල තමන් මිය යන තුරුම ක්‍රියා කළ මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමා බළපිටියේ තම වලව්වේ සිටම එහි ලේඛන කටයුතු වල යෙදිණි. 1937 දී එතුමාගේ අභාවයෙන් වසර හයකට පසු එළිදුටු ශබ්ද කෝෂයේ පළමු කලාපයේ පෙරවදනේ ගුණසේකර මුදලිතුමා පිළිබඳ සඳහන් වන්නේ මෙසේය. "දීර්ඝ කාලයක්‌ අමතකව තිබුණ මේ සිංහල මහා ශබ්ද කෝෂයක්‌ කිරීමේ ප්‍රශ්නය නැවතත් ඉදිරිපත් කිරීමේ ගෞරවය කතාශේෂ භාවෝපගත මැන්දිස්‌ ගුණසේකර වාසල මුදලිතුමාට අයිති වේ" යනුවෙනි.

    මෙලෙස සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමට මුල්වූ ගුණසේකර මුදලිතුමා අප රටේ ප්‍රථම ඉංගී්‍රසි - සිංහල හා සිංහල - ඉංගී්‍රසි ශබ්ද කෝෂ දෙකෙහි ආදි කර්තෘවරයා බව දන්නේ කීයෙන් කී දෙනකුද? ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංගී්‍රසි - සිංහල ශබ්දකෝෂය ලියා මීට වසර එකසිය පහකට පෙර 1905 දී මුද්‍රණයෙන් එළිදක්‌වන ලද මෙතුමා 1915 දී වචන විසිදහසක පමණ එකතුවක්‌ ඇති සිංහල - ඉංගී්‍රසි ශබ්දකෝෂයක්‌ ලියා පළ කළේය.

    මහාවංශයේ සඳහන් වන සියලු රජවරුන් පිළිබඳ කවි දහසක්‌ පමණ ලියා වරින්වර සිය ඥනාදර්ශ සඟරාවේ පළ කළ අතර අරාබි නිසොල්ලාසය ප්‍රථමයෙන්ම සිංහලයට පරිවර්තනය කිරීමේ මෙහෙවර මෙතුමා විසින් සිදුකරන ලදී.

    මෙතුමා විසින් ලියා පළ කරන ලද වැදගත්ම ග්‍රන්ථයක්‌ වූයේ "සිංහල භාෂාව" යනුවෙන් ඉංගී්‍රසි බසින් හා සිංහල බසින් ලියන ලද පිටු 530 කින් සමන්විත ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථය 1891 දී ලියා ඉංගී්‍රසි ආණ්‌ඩුවට ඉදිරිපත් කරන විට ගුණසේකර මුදලිතුමාගේ වයස අවුරුදු 31 කි. මෙය පිළිගෙන මුද්‍රණයෙන් පිළියෙල කර ආපසු මුදලිවරයාටම පරිත්‍යාග කළ ඉංගී්‍රසි ආණ්‌ඩුව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මුළුමණින්ම පාලනය කිරීමට ඉංගී්‍රසි ජාතිය ක්‍රියා කළත් සිංහල භාෂාව පිළිබඳ ඉංගී්‍රසියෙන් ලියෑවුණු පොතක්‌ නොතිබූ හෙයින් සුදු නිලධාරීන්ට සිංහල භාෂා දැනුම ලබා ගන්නට නොහැකි වූ අඩුව මෙම ග්‍රන්ථයෙන් සම්පූර්ණ වූ බවයි. මෙම ග්‍රන්ථය ලංකා නිදහසින් පසුවද 1962 දී ලංකා ආණ්‌ඩුව මගින් මුද්‍රණයෙන් යළිත් පළකරන්නට යෙදිණි. මෙම නව ග්‍රන්ථය කියවූ ඉන්දියා ආණ්‌ඩුවේ රාජ්‍ය පුස්‌තකාලයාධිපති ආර්. රෝසට්‌ මහතා පැවසුවේ මෙය ශේ්‍රෂ්ඨ ග්‍රන්ථයක්‌ ලෙස ලෝකයේ ගෞරවයට පාත්‍රවන බවයි. ලෝකයේ තිබෙන ජාත්‍යන්තර පුස්‌තකාලවල විශේෂයෙන් තැන්පත් වූ මෙම ග්‍රන්ථය ජාත්‍යන්තර භාෂා පිළිබඳ අධ්‍යයනය කරන වියතුනට මහඟු අත්වැලක්‌ විය.

    ගුණසේකර වාසලමුදලි තුමන් විසින් එළි දක්‌වන තවත් වැදගත් ග්‍රන්ථයක්‌ වූQයේ "ග්‍රන්ථාර්ණවය" නමැති කෘතියයි. සිංහල හෝඩිය නම් පොත, මඟුල් ලකුණ, ගණදෙවිහෑල්ල, වදන් කවිපොත, බුද්ධගජ්ජය, සකස්‌කඩය, අමරකෝෂය යන පොත් සියල්ල එකතුකර සැකසූ මෙම පොත පිටු 300 ක්‌ පමණ වන වටිනා ග්‍රන්ථයකි. ත්‍රිපිටකය නමින් ලියූ පිටු 250 ක පමණ පොත. එකල විසූ ස්‌වාමීන්වන්සේලාට ඉතා වැදගත් වූ ග්‍රන්ථයකි. කුස ජාතකය පිළිබඳ ටිබේට්‌ හා නේපාල රටවලද ජාතක කතා ගෙන්වාගෙන කියවා අවසානයේ ලියූ ග්‍රන්ථයට එම රටවල් දෙකෙහි කතා වෙන වෙනම එක්‌කර ඇත. මීට අමතරව "ගුත්තිල කාව්‍ය සාධුචරිතෝදය", "වත්තක්‌ඛන්ධකයා", ඉංගී්‍රසි ගුරුවරයා" ආදී වශයෙන් පොත් රැසක්‌ ලියූ ඒ මැන්දිස්‌ ගුණසේකර වාසල මුදලිවරයා සිය මුද්‍රණ කටයුතු සිදුකළේ තමා වෙසෙන වලව්වේ පසෙක තනවන ලද "ඥානාදර්ශ" මුද්‍රණාලයෙනි. තමා ලියන පොත පතම පමණක්‌ මුද්‍රණය කළ මෙම මුද්‍රණාලය වෙනත් අයගේ මුද්‍රණ කටයුතු සිදුකර මුදල් උපයන ආයතනයක්‌ නොවීය. තමන්ගේ පොත පත ලියා පළ කරන්නට වෙනම මුද්‍රණාලයක්‌ තමන් විසින්ම පිහිටුවාගෙන කටයුතු කළ ලේඛකයකු, මුදලිවරයකු අප රටේ විසුවාදැයි යන්න ප්‍රශ්නයකි.

    ඒ මැන්දිස්‌ ගුණසේකර මුදලිතුමන්ගේ විශිෂ්ටතම ලේඛක දායකත්වය දුන් තවත් අංශයක්‌ වන්නේ සඟරා සංස්‌කරණයයි. දහනවවැනි සියවසේ අවසාන දශකයේ 1896 වසරේ දෙසැම්බර් මාසයේ ප්‍රථමයෙන් පළකරන ලද ඥනාදර්ශ සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ මිණිකිරුළක්‌ බඳුය. වර්ෂ 1911 දක්‌වා නොකඩවා පළකරන ලද මෙම සඟරාවන් තුළින් බෙදා දුන් දැනුම සුළුපටු නොවූ මහ මෙරකි. වර්තමානයේ මෙවන් සඟරාවක්‌ පළ නොවීම අප රටේ ජනතාව දැනුමෙන්, බුද්ධියෙන් දුප්පත් වීමට ද හේතුවකි. මෙම සඟරාව තුළින් අප රටට, අප ජාතියට, අපේ හෙළ බසට ලබාදුන් මහඟු තිළිණය වූයේ මෙම ලිපිය ආරම්භයේම සඳහන් කළ "F" ඉංගී්‍රසි අකුර වෙනුවට එම ශබ්දය නැගීමට සිංහල බසට නව අක්‌ෂරයක්‌ නිර්මාණය කර දීමයි. එම කාර්ය සිදුකර ඇත්තේ 1896 දෙසැම්බර් මස පළමු ඥනාදර්ශය සඟරාවේ මංගල කලාපයෙනි. මීට වසර 114 කට ඉහතදී පළවූ මෙම මංගල කලාපය පිළිගන්වා ඇත්තේ එවකට ලක්‌දිව ඉංගී්‍රසි ආණ්‌ඩුකාර පදවිය හෙබවූ සර් ජොසෆ් වෙස්‌ට්‌ රි-වේ මැතිතුමන්ටය. එම නම ලිවීමේදී ගුණසේකර මහතා යොදාගෙන තිබෙන්නේ එතෙක්‌ සිංහල බසින් එතුමාගේ නම ලියූ ජෝසප් යන්න වෙනුවට "ජෝසෆ්" යනුවෙනි.

    මෙම සඟරාවේ ප්‍රාරම්භය යනුවෙන් ඒ මැන්දිස්‌ ගුණසේකර මහතා "F" ඉංගී්‍රසි අකුර වෙනුවට "ෆ්" අක්‌ෂරය යොදා ගැනීම සඳහා වූ සටහන යොදා ඇත්තේ මෙසේය.

    මෙහි යම් කලාපයක වරදක්‌ දුටුවිට එය ඊළඟ කලාපයෙහි දක්‌වනු ලැබේ. මගේ විවේක කාලය මේ සඟරාව සකස්‌ කිරීමට පවා ඉතා මඳබැවින් වාද විවාදවලට නොබැඳෙනු කැමැත්තෙමි. වරද පෙන්වා දුන්විට නිතර භාර ගැනීමට කැමැත්තෙමි. සැබෑ නොවූ තම තමන්ගේ මතවල හැටියට වරදයෑයි පෙනීයන ඒවා ගැන නිශ්ශබ්ද වෙමි. යනුවෙන් සඳහන් කර මෙසේ සටහන් කරයි.

    "=" මේ ලකුණ සමාන බවද "?" යනු ප්‍රශ්නයක්‌ද "I" යනු විස්‌මයද "ෆ" යනු ඉංගී්‍රසි "F" අක්‌ෂරයද ඇඟවී මට යොදනු ලැබෙත්........ යනුවෙන් සටහන් කර සඟරාවේ ප්‍රාරම්භක හැඳින්වීම අවසන් කරයි.

    මෙම සඟරාවෙන් හඳුන්වාදුන් "ෆ" අක්‌ෂරය පසුව රජයේ අධ්‍යාපන මණ්‌ඩලය විසින්ද පිළිගෙන අනුමත කළහ. නමුත් ඇතැම් ලේඛකයන්ද පඬිවරුන්ද තමා සතු කුහක ප්‍රතිපත්තිය මත මෙම නව අක්‌ෂරය පිළිනොගෙන එම අකුර අවශ්‍ය තැනට පෙර තිබූ "ඉංගී්‍රසි" F අක්‌ෂරයට යොදාගෙන සිය ලේඛන කටයුතු කරගෙන යන්නට විය. නමුත් හරිස්‌චJද්‍ර විජයතුංග මහතා තමන් විසින් සකස්‌ කළ සිංහල ශබ්දකෝෂයේත්, ප්‍රායෝගික සිංහ ශබ්ද කෝෂය යන ග්‍රන්ථ දෙකෙහිම මෙම අකුරට ලැබිය යුතු තැන ලබා දීමට කටයුතු කළහ.

    අද "F" අකුර පාවිච්චි කිරීම මුළුමණින්ම වාගේ අතහැර ඇති අතර සියලු දෙනා ඒ. මැන්දිස්‌ ගුණසේකර වාසළමුදලිතුමන්ගේ අක්‌ෂරය භාවිතයට ගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්‌ වූ එච්. සී. පී. බෙල් මහතා බළපිටියේ බස්‌නායක වලව්වට නිතර එමින් යමින්ද සමහර විට නවාතැන්ගෙන සිටිමින් ද ගුණසේකර මුදලිතුමාගේ සිංහල භාෂාව උගෙන ගැනීම සිදුකර ඇත. එමෙන්ම ඔහු ශිලා ලිපිවල එන වචන පිළිබඳ සිය දැනුම නිරාකරණය කරගත්තේ මුදලිතුමාගෙන් විමසීමෙනි. එමෙන්ම විල් හෙල්ම් ගෛගර් වැනි පඬිවරුන් සමග බොහෝ සම්බන්ධකම් පැවැත්වූ මැන්දිස්‌ ගුණසේකර මහතා සියවලව්වේ පුස්‌තකාලයේ තිබූ දහස ගණනේ පොතපත දෙසට ඇඟිල්ල දිගුකර පවසා ඇත්තේ මෙහි හැම භාෂාවකින්ම ලියෑවුණු පොතපත තමා කියවන ලද ඒවා බවයි. එය සත්‍යයක්‌ බව වැටහෙන්නේ එතුමන් පළ කළ ඥනාදර්ශ ආදී සඟරාත් බෞද්ධ ධර්මය පිළිබඳ ලියෑවුණු ශ්‍රී සද්ධර්ම කෝෂයත් පරිශීලනය කිරීමේදීය.

    එතුමා තම වලව්වේ මුද්‍රණාලයක්‌ පවත්වාගෙන පොත පත එළිදැක්‌වූවා සේ එතුමාගේ පියාණන් වූ බස්‌තියන් ගුණසේකර මුදලිතුමා වලව්වේ පාසලක්‌ද පවත්වාගෙන ගොස්‌ ඇත. එම අවධියේදී බළපිටියේ සිටි තම වැඩිමහල් සොහොයුරාගේ රැකවරණයේ උන් ළමාවියේ පසුවූ කුමාරතුංග මුනිදාස මහතා මෙම බස්‌නායක වලව්වේ පාසලෙන් උගත් බව එතුමාගේ ඇතැම් පොතපතෙහි සඳහන් කර ඇත.

    මේ අයුරින් සිංහල බසට සාහිත්‍යයට, බුදු දහමට අති විශාල සේවයක්‌ කළ මෙම මුදලිවරයාට වාසල මුදලි පදවිය ලැබීමත් සමගම පැරැණි බස්‌නායක වලව්ව "වාසල වලව්ව" බවට පත්විය. බළපිටිය ප්‍රදේශයේ පිහිටි තිහකට අධික වලව් අතරින් අද විනාශ වී නොගියත් එයට ළං වෙමින් තිබෙන ඉපැරැණි වලව්වක්‌ ලෙස මෙම වාසල වලව්ව හැඳින්විය හැක. අද එහි මුදලිතුමන් පරිශීලනය කළ පොත පත කිසිවක්‌ නොමැති වූවත් එතුමා පරිහරණය කළ ඇතැම් ලියන මේස, පුටු ආදියද දුර්ලභ ඡායාරූපද ඇත. මෙම භාෂා ප්‍රේමියාගේ ජීවන ස්‌මාරකය වන මෙම වලව්ව ආරක්‌ෂා කර ජාතික සම්පතක්‌ බවට පත්කර අනාගත පරපුරට දැක බලාගන්නට සුදුසු ස්‌ථානයක්‌ ලෙස ගොඩ නඟන්නේ නම් මෙය සුදුසු අවස්‌ථාවකි.

    හැඳින්වීමෙන් මහ ගත්කරු නාමයක්‌ නොතිබුණද ජාතියේ ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ තිරිමාදුර ඒබ්‍රහම් මැන්දිස්‌ ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලිතුමන් මීට වසර අසූවකට පමණ පෙර 1931 පෙබරවාරි 09 වැනි දින බළපිටියේ වාසළ වලව්වේදී වසර හැත්තෑ එකක දිවිමග අවසන් කොට ජීවිතයෙන් සමුගත්හ. සිංහල හෝඩිය පවතින තුරු එය භාවිත කරන තුරු නොමැරෙන අමරණීය නාමයක්‌ හිමිකරගෙන උගත් ලෝකයාගේ ගෞරවයට කීර්තියට පත් මේ විද්වතාණන් පිළිබඳව එතුමිගේ ශ්‍රී නාමයට අපෙන් හිමිවිය යුතු තැන තවමත් නොලැබී ඇති බව කනගාටුවෙන් සඳහන් කරමි. එතුමා වෙනුවෙන් සමරු මුද්දරයක්‌, නිකුත් කිරීමටවත්, මාවතක්‌ නම් කිරීමටවත් වගකිව යුතු අංශ අද වනතුරු පියවරක්‌ නොගෙන ඇත. මෙවැනි පඬිවරයකු වෙනත් රටක සිටියානම් ඔහු සිටි නිවෙස පවා ගෞරවයට පාත්‍රවන ජාතිය විසින් සුරකින ස්‌මාරක වනු ඇත. සිරිමා බෝධිය ලක්‌දිවට වැඩම කරවූ නැවේ අබලන් වූ කොටස්‌ අනුරාධපුරයට ගෙනවුත් සංරක්‌ෂණය කර මහජන ප්‍රදර්ශනයට තබා ලොව ප්‍රථම කෞතුකාගාරයකට අඩිතාලම දැමූ අපේ සිංහල ජාතිය රාජ්‍ය පාලනයේ වගකිව යුතු අංශ මෙලෙස මෙවන් ජාතියේ විරුවන් අමතක කිරීම අභාග්‍යයකි.

    අහුන්ගල්ලේ දේ. සු. ද. සොයිසා

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture